නව මාදිලියක කුරුලු උණක් පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බවත්, මේ වනවිට ඒ හේතුවෙන් චීන කාන්තාවක මරණයට පත්ව ඇති බවත් ‘ලයිව්සයන්ස්’ වෙබ් අඩවිය පෙන්වා දෙයි.
H10N8 යනුවෙන් හැඳින්වෙන කුරුලු උණේ නව මාදිලිය හේතුවෙන් මරණයට පත්ව ඇත්තේ චීනයේ ජියෑංෂි ප්‍රාන්තයේ, නැන්චැන්ග් නගරයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි.
පසුගිය නොවැම්බර් මාසයේ සිට උණ, කැස්ස හා පපුවේ තදගතිය යන රෝග ලක්ෂණ පෙන්වමින් සිටි මෙම කාන්තාව වහාම රෝහල්ගත කර තිබිණි.
ඇය වෙනුවෙන් ප්‍රතිජීවක හා ප්‍රතිවෛරස ප්‍රතිකාර වහ වහා සිදුකළත්, මෙම කාන්තාවගේ තත්ත්වය උත්සන්න වෙමින්, අවසානයේ ඇය උග්‍ර නියුමෝනියා තත්ත්වයකට පත්ව, ඇයගේ ශරීරයේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීම ඇරඹි බවත් වෛද්‍යවරු පෙන්වා දී තිබේ. ඒ අනුව, පසුගිය දෙසැම්බර් 9 වැනිදා මෙම කාන්තාව මරණයට පත්ව ඇත්තේ රෝහල්ගතව දින නවයකට පසුවය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයන්ගෙන් තහවුරු වී තිබෙන්නේ සෘතුමය කුරුලු උණ ඇගේ මරණයට හේතු වී නොමැති බවය. ඒ වෙනුවට, H10N8 යනුවෙන් හැඳින්වෙන කුරුලු උණේ නව මාදිලිය ඇයගේ ශරීරයට ඇතුළු වී ඇති බව සොයාගෙන තිබේ. මෙම වෛරසය මීට පෙර වනාන්තර හා ගෘහාශ්‍රිත පක්ෂීන්ගෙන් සොයාගෙන තිබුණත්, මිනිසුන්ගේ ශරීරයට ඇතුළු වූ බවක් සොයාගෙන නොතිබිණි.
මේ අතර, වෛරසය ඇතුළු වූ 55 හැවිරිදි තවත් කාන්තාවක් එම ප්රාන්තයෙන්ම පසුගිය මාසයේදී සොයාගෙන ඇති බවත්, මේ වනවිට ඇය යම් ස්ථාවර තත්ත්වයක පසුවන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් ‘ලයිව්සයන්ස්’ වෙබ් අඩවිය වැඩිදුරටත් පවසයි.