බහුදින යාත්‍රා ඇතුළු යාත්‍රාවලින් අල්ලා ගන්නා මසුන් ධීවර සංස්ථාව මගින් ස්ථාවර මිලකට මිලදී ගන්නා ලෙස ජනපතිවරයා අදාළ අංශ සඳහා උපදෙස් ලබාදී තිබේ. එසේම දැනට විදේශ යාත්‍රා මගින් අල්ලා ගන්නා මසුන්ද අතරමැදි සමාගම් මගින් මිලදී ගැනීම වළක්වා ධීවර සංස්ථාව මගින් ඍජුවම මිලදී ගෙන දේශීය, විදේශීය වෙළෙපොළට යොමුකිරීමට කටයුතු කරන ලෙසත් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ අමාත්‍යාංශ නිලධාරීන්ට ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23දා) උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ධීවරයන් සමග අද (23දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
එසේම විදේශයන්ගෙන් පැමිණෙන ධීවර යාත්‍රා ප්‍රමාණය අවශ්‍යතාව පරිදි අඩු කරවීමටද ජනාධිපතිවරයා මෙහිදී ධීවර අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.
එමෙන්ම පසුගියදා ධීවර අමාත්‍යාංශය අසල පැවති උද්ඝෝෂණයට සහභාගීවූ ධීවරයන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී තම කනගාටුවට පළකර සිටියේය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, බැසිල් රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු අමාත්‍යවරු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.