පොදු ප්‍රසිද්ධියක් ලබා නොදෙමින් ධීවර ගැටලුව විසඳීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අනුගමනය කළ කාර්යක්ෂම පිළිවෙත මගින් ශ්‍රී ලංකාවේ ධිවර ප්රාජාවේ සුබසාධනය කෙරෙහි ධනාත්මක දායකත්වයක් ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, "මුහුදු පතුලේ දැල් දමා මසුන් ඇල්ලීම වැනි නීති විරෝධී හා ඔරොත්තු දිය නොහැකි ක්‍රම යොදා ඉන්දියානු ධීවරයින් විසින් දිගින් දිගටම කරගෙන යනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකා ධීවරයන්ගේ ජීවනෝපායන් හා ධීවර සම්පත් කෙරෙහි ඉමහත් සෘණාත්මක බලපෑමක් සිදුවන හෙයින් එම ප්රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමග ඉහළම දේශපාලන මට්ටමින් නිතරම කටයුතු කර ඇත. මෙම ක්ෂේත්රයෙහිලා ශ්‍රී ලංකාව කෙරෙහි සිදුවන බලපෑම ගැන අවධානය යොමු කළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන්දියානු රජය සමග කරන කටයුතු වලදීද ඒ ගැන නිතරම අවධානය යොමු කළේය. 2014 ජනවාරි මැද භාගයේදී ඉන්දියානු හා ශ්‍රී ලාංකික ධීවරයින් අන්‍යෝන්‍ය වශයෙන් මුදා හරිනු ලැබුවේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ජෙරුසෙලමේ සිට ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා සමග කරන ලද සාකච්ඡා ඇතුළු මෙම නිරන්තර මැදිහත්වීම් තුළිනි.
2013 අගෝස්තු මාසයේ ඉන්දියාවේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී අමාත්‍ය පීරිස් මහතා විසින් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත මේ සම්බන්ධයෙන් කරුණු කියා පෑ බව මෙහිදී සිහිපත් කිරීම සුදුසුය. 2013 ඔක්තෝබර් මාසයේදී සිදු වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී සහ ඉතා මෑතකදී එනම් 2014 ජනවාරි මාසයේදී පීරිස් අමාත්‍යවරයා නවදිල්ලියේ කළ සංචාරය අතරතුරදීද මෙම ගැටළුව පිළිබඳව තව දුරටත් සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලාංකීය ධීවරයන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමේ අභිලාෂයෙන් මෙම ඉහළ මට්ටමේ මැදිහත්වීම සිදු කරන ලද අතර අදාළ අංශ පිළිබඳව රටවල් දෙක අතර විශාලතර අවබෝධයක් ඇතිවීමට එමගින් මග සැලසිනි.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙහිලා වගකීම දරන විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් රාජ්‍ය තාන්ත්‍රික පරිචයේ පිළිගත් ප්‍රතිමාන ඇතුළත් ගිවිසගත් ජාතික ප්‍රතිපත්ති අරමුණු සුදුසු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලාංකීය පුරවැසියන්ට අදාළ ජාතික වැදගත්කමක් ඇති ගැටලු රජයේ සියලු ආයතනවල සාමූහික වගකීමක් වන හෙයින් ශ්‍රී ලංකාවේ අනෙකුත් අදාළ අමාත්‍යාංශ හා රේඛීය ආයතනයන්ද අමාත්‍යාංශය විසින් මේ සඳහා සම්බන්ධ කරගනු ලැබේ. පොදු ප්‍රසිද්ධියක් ලබා නොදෙමින් මෙම අමාත්‍යාංශය විසින් මෙම ගැටළුව සම්බන්ධයෙන් අනුගමනය කරන ලද කාර්යක්ෂම පිළිවෙත මගින් ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවේ සුබසාධනය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී ඇත." යනුවෙනි.
මේ අතර, පසුගිය 5 වැනිදා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා පවසා තිබුනේ, ඉන්දීය ආරක්ෂක අංශ යටතේ සිටි ධීවරයන් මුදවාගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ලියුම් කෑල්ලක්වත් නොදුන් නමුත් සියලුම ධීවරයන් ධීවර අමාත්‍යාංශය මැදිහත් වී මුදවාගෙන තිබෙන බවයි. එවැනි මොහොතක ධීවරයන් පිළිබඳව ඉන්දියාවට ගොස් ජී.එල්.පීරිස් අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙන බවත්, එහෙත් ධීවරයන් ගැන තමා බලාගන්නා නිසා රට ගැන බලාගැනීමට ජී.එල්. පීරිස් අමාත්‍යවරයා කටයුතු කළ යුතු බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසා තිබේ.