සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් මස 20 සහ 21 දිනවලදී විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (02දා) තීරණය කළේය.
මෙම සිද්ධියට අදාළව ධම්මාලෝක හිමියන් සැකකරුවකු ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී උන්වහන්සේට නියම කළ රුපියල් ලක්ෂ 180ක් වටිනා ශරීර ඇප වලට අමතරව පසුගිය අවස්ථාවේ මහාධිකරණය විසින් තවත් රුපියල් ලක්ෂ 200ක් වටිනා ශරීර ඇප මත උන්වහන්සේ මුදා හැරීමට නියම කළේය.
පොදු දේපළක් වන අලි පැටවා නිසි බලප්‍රත්‍රයක් නොමැතිව තබාගෙන සිටි බවට නීතීපතිවරයා විසින් උඩුවේ හිමියන්ට එරෙහිව නඟා ඇති චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 19ක් හා ලේඛණ තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටි අතර ධම්මාලෝක හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ප්රසන්තලාල් ද අල්විස් මහතා පෙනී සිටියේය.