ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා ඒකමතිකව සම්මත කළ දුම්වැටි දවටනවල 80%ක් ආවරණය වන පරිදි රූපමය ආවවාද ඇතුළත් කිරීමේ ගැසට් පත්‍රය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (12දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ අලෙවි කරන දුම්වැටි දවටනවල 80%ක් ආවරණය වන පරිදි මුඛ පිළිකා රූප සටහන් ඇතුළත් කිරීමට අදාළ ගැසට් නිවේදනය 2012 දී සකස් කළ අතර, එම ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම වළක්වමින් දුම්කොළ සමාගම විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළේය.
එහිදී ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම නීත්‍යනුකූල බව දක්වමින් අභියාචනාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
ඉන් අනතුරුව නැවත වරක් මෙම ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් දුම්කොළ කර්මාන්තකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරූ බැවින් ගැසට් පත්‍රයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
මේ පිළිබඳව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ, දුම්බීමෙන් දිනකට වයස අවුරුදු 40 - 55 අතර වයසේ 65 දෙනෙකු මියයන බවත්, මේ නිසා දිනකට දරු පවුල් 65ක් අතරමං වන බවත්ය.
එසේම පිළිකා රෝගීන්ගෙන් 60෴ක් පිළිකා රෝගයට ගොදුරු වී ඇත්තේ දුම්බීම නිසා බවත්, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට රජය වසරකට රුපියල් කෝටි 450ක් වැය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ නිසා අද දින ලබාදෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙස මුළු රටම බලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.