ශ්‍රී බුද්ධ වර්ෂ 2558 වෙසක් උත්සවය නිමිත්තෙන් පාසල්වල වෙසක් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර වෙසක් සතිය 2014 මැයි 12 සිට 18 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, දිවයිනේ සියලු බෞද්ධ දරු දැරියෝ මැයි 13 වැනි දින ස්වකීය පාසල්වල විදුහල්පතිවරුන්, අචාර්ය මණ්ඩලය හා දෙමවුපියන් ඇතුළු සියලු දෙනාගේම සහභාගිත්වයෙන් වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බවද අමාත්‍යාංශය පවසයි.
මෙවර වෙසක් සතියේ ප්‍රධාන තේමාවට අමතරව ඒ ඒ දින සඳහා වෙන් වූ තේමාවන් කිහිපයක් නම් කර තිබෙන අතර, තම පාසලට ගැළපෙන ආකාරයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිවරුන් දැනුම්වත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවත් පැවසෙයි.
මෙම වෙසක් සතිය වැඩසටහන් පිළිබඳව ආචාර්ය මණ්ඩලය, සිසුන් හා දෙමවුපියන් දැනුම්වත් කිරීම, මෙම සතිය තුළ පාසල් භූමිය බෞද්ධ ධජවලින් අලංකාරවත් කිරීම, ප්‍රධාන තේමා පාඨය වන ‘තෙමඟුල සමරමු- පිළිවෙත් සපුරමු’ සඳහන් බැනරයක් පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම, මෙම සතියේ සෑම දිනකම උදෑසන පාසල ආරම්භ කිරීමට පෙර විනාඩි 5ක කාලයක් තුළ ධර්මානුකූල කථාවක් පැවැත්වීම යන වැඩසටහන් පැවැත්වෙන බවද අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී බෞද්ධ සිසුන් බහුතරයක් සිටින පාසල්වල හා වෙනත් ආගමික සිසුන් බහුතරයක් සිටින පාසල්වල එය සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිවරුන්ගේ වගකීම වන බව සඳහන් කරන ලේකම්වරයා මෙම වැඩසටහනට සමගාමීව විද්‍යාපීඨ ගුරු විදුහල්වල හා සෙසු ආයතනවල ද මෙම සුදුසු පරිදි වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා ඇතිබවද පවසා සිටියි.