ත්රස්තවාදය තුරන්කිරීමට සාමූහිකව කටයුතු කීරිමත්, මත්කුඩු වැනි හොර ජාවාරම් නැවැත්වීමට කටයතු කිරීමත් ඇතුළුව කරුණු කිහිපයකින් යුක්තවන 2014 බිම්ස්ටෙක් සමුළුවේ ඒකාබද්ධ නිවේදනය නිකුත් කිරීමට සමුළුවට සහභාගී වූ රාජ්ය නායකයෝ කටයුතු කළහ.
එසේම කාලගුණ විපර්යාස පිළිබඳව කටයුතු කිරීමේදී ලොව පවතින අනෙකුත් සංවිධාන සමග ඒකාබද්ධව කටයුතු කිරීම, බිම්ස්ටෙක් රටවල් සඳහා ස්ථිර ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම, කලාපය තුළ නිදහස් වෙළෙඳාමක් ඇති කිරීම ඇතුළු වැදගත් කරුණුවලින්ද ඒකාබද්ධ නිවේදනය යුක්තවෙයි.
මෙහිදී සමුළුව අමතමින් ශ්රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ කුමන මුහුණුවරකින් පැවැතියද ත්රස්තවාදය ත්රස්තවාදයම බවත්, ලොව සියලුම ජාතීන්ගේ සාමූහික ආරක්ෂාවට එය තර්ජනයක් බවත්ය.
එසේම ත්රස්තවාදය සඳහා අන්තර්ජාතිකව පැතිරුණු විශාල ශාඛා ජාලයක් පවතින බවද පෙන්වාදුන් ජනපතිවරයා, ඒ පිළිඳව නිරන්තර සුපරික්ෂාකාරීත්වයෙන් කටයතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.