ත්‍රස්ත අරමුදල් රැස්කිරීම සහ ත්‍රස්තවාදය යළි හිස එසවීම සහ එහි පුනරුදය උදෙසා කලාපය තුළ සිදුවන අනෙකුත් ක්‍රියාකාරකම් මැඬපැවැත්වීමට පූර්ණ සහයෝගය ලබාදෙන මෙන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ, පසුගිය 5 වැනිදා ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදීය.
1373 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවලිය අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකා නීතිය යටතේ කණ්ඩායම් 16ක් සහ පුද්ගලයන් 424ක් ත්රස්තවාදීන් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකාව විසින් ගනු ලැබූ පියවර පිළිබඳව පූර්ණ විස්තරයක් ජී.එල්.පීරිස් අමාත්‍යවරයා මෙහිදී ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කර තිබේ.