පොප් තරුවක් ලෙස ප්‍රසිද්ධ ජස්ටින් බීබර් ලිමෝසින් රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් මත චෝදනා ලබා ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
මේ චෝදනා සමග 19 හැවිරිදි වියේ පසුවන බීබර්, කැනඩාවේ, ටොරෙන්ටෝ පොලීසිය වෙත භාරවී ඇති අතර, එම අවස්ථාවේදී රූපවාහිනී කණ්ඩායම්, ඡායාරූප ශිල්පීන් ඇතුළු විශාල මාධ්‍ය පිරිවරක් පොලීසිය අවට රැඳී සිටින බවද වාර්තා වෙයි.
බීබර්ට එරෙහිව මේ අලුත්ම චෝදනා ගොනුවන්නේ පසුගිය 23 වැනිදා අලුයම් කාලයේදී ෆ්ලොරීඩාහි, මියාමි බීච් ප්‍රදේශයේ පටු මාර්ගයක් අවහිර කරමින්, සුපිරි ලැම්බෝගිනී රථයක් වේග සීමා ඉක්මවමින් තරගයට මෙන් ධාවනය කිරීමත්, මත්පැන් හා මර්ජුවානා පානය කර සිටීමත්, කල් ඉකුත්වූ රියදුරු බලපත්‍රයකින් රිය ධාවනය කිරීමත් යන චෝදනා යටතේ බීබර් අත්අඩංගුවට පත්ව, අධිකරණ ඇපයක් මත නැවත නිදහස ලබා සතියක් ගෙවීයාමටත් මත්තෙනි.
කෙසේ වෙතත් බීබර්ගේ නීතීඥයන් මාධ්‍යයට කියා ඇත්තේ තම සේවාදායකයා හුදෙක්ම නිර්දෝශී අයෙකු බවයි.
ටොරෙන්ටෝ පොලීසිය පෙන්වා දෙන්නේ, පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා අලුයම් කාලයේදී රාත්‍රී සමාජශාලාවකින් පිටතට යෑමට ලීමෝසීන් රථයක් කුලියට ගත් පුද්ගලයන් 6 දෙනා අතර බීබර්ද සිට ඇති බවයි.
මෙම පිරිස හෝටලය වෙත රැගෙන යන අතරතුර ලිමෝසින් රථයේ සිටි එක් මගියෙකු හා රියදුරා අතර බහින්බස් වීමක් ඇතිවී තිබේ. මෙහිදී පෙරකී මගියා රියදුරාගේ හිසට කිහිපවරක්ම අතින් පහරදී ඇති බවද කියැවෙයි. මේ අවස්ථාවේ ලිමෝසින් රථය නවත්වනු ලැබූ රියදුරා, ඉන් පිටතට පැමිණ පොලීසියට ඇමතුමක් ලබාගෙන ඇත. නමුත් පොලීසිය පැමිණීමට පෙර තමාට පහරදුන් පුද්ගලයා එම ස්ථානයෙන් පලාගිය බව ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා තිබේ.
එසේ රියදුරාට පහරදුන් තැනැත්තා බීබර් බව කියැවෙයි.
ඒ අනුව, පොලීසියට භාරවූ බීබර්ට පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා ගොනු වෙමින්, ලබන මාර්තු මස 10 වැනිදා ටොරන්ටෝ උසාවියේ පෙනී සිටින ලෙස නියම වී ඇත.
ජස්ටින් බීබර්ගේ නිමක් නොවන මේ අසංවර හා නොහික්මුණු හැසිරීම් හමුවේ ඔහුව ඇමෙරිකාවෙන් නෙරපීම සඳහා අන්තර්ජාල පෙත්සමක්ද අත්සන් කෙරෙන අතර, මේ වනවිටත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඊට අත්සන් කර ඇති බවද කියැවෙයි. මෙම පෙත්සම ධවල මන්දිර වෙබ් අඩවියේද ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් මේ ආකාරයේ තනි පුද්ගලයෙකු රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් ලබාදීමේ බලයක් ඇමෙරිකානු ජනාධිපතිවරයාට නොමැති අතර, මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය කවර ක්‍රියාමාර්ගයක් ගනු ඇතිද යන්න තවමත් පැහැදිලි නැත.
කැනේඩියානු ජාතික බීබර් මෑත කාලයේදී කිහිප වරක්ම මේ ආකාරයෙන් පොලීසිය වෙත යෑම් ඒම් තිබූ බව නොරහසකි. නව යොවුන් වියේ ගායකයෙකු ලෙස කලඑළි බැස අද වනවිට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටියත්, මේ අසංවර හැසිරීම් හමුවේ තව කොතෙක් දුර ජස්ටින් බීබර් ගායන ලෝකයේ සුපිරි කිරුළ දරාගෙන සිටිනු ඇතිද යන්න ගැටලුවක් බව අප මීට සතියකට පමණ පෙර සිහිපත් කළා ඔබට මතක ඇතැයි සිතමු.