(UPDATE - PICTURE) ජර්මනියේ, මියුනිච් නගරයේදී පුද්ගලයන් 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ ප්‍රහාරකයා, ඉස්ලාම් රාජ්‍ය සමග සබඳතා පැවැත්වූ බවට සාක්ෂ නොමැති බවත්, ඔහු හුදෙකලා සමූල ඝාතකයෙකු බවත් ජර්මානු පොලීසිය පවසයි.
ඔහුගේ කාමරය පරීක්ෂා කිරීමේදී හමුවූ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී මෙම කරුණු අනාවරණය වූ බව මියුනිච් පොලිස් ප්‍රධානියා කියයි. එය මීට වසර පහකට පෙර නොර්වේ හිදී සමූල ඝාතනයක් සිදුකළ ඇන්ඩර්ස් බෙහ්රින්ග් බ්‍රෙවික්ගේ ප්‍රහාරයට සමාන බවත් හෙතෙම පවසයි.
මෙම ප්‍රහාරකයාට ජර්මානු හා ඉරාන ද්විත්ව පුරවැසිභාවයක් හිමි බවත්, පසුව වෙඩි තබා සියදිවි හානිකරගෙන සිටි අවස්ථාවේදී ඔහුගේ සිරුර හමුවූ බවත් පොලීසිය කියයි.
මේ අතර, ප්‍රහාරකයාගේ නම නිල වශයෙන් ප්‍රසිද්ධ නොකළත්, ඔහු ඩේවිඩ් අලි සොල්බොලී බව එරට මාධ්‍ය පවසයි.
නීතිවිරෝධීව ලබාගත් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් ඔහු මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති අතර, ඉන් පතොරම් 300ක් ඔහු ප්‍රහාරයේදී මුදාහැර ඇති බවත් අනාවරණය වී තිබේ.
පුද්ගලයන් නව දෙනෙකුට මරු කැඳවමින් ජර්මනියේ මියුනිච් නගරයේ වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුවූ වෙඩි තැබීම තනි පුද්ගලයෙකු විසින් සිදුකළ හුදකලා ප්‍රහාරයක් විය හැකි බව පොලීසිය කියයි.
කෙසේ වෙතත්, මෑත කාලීනව ජර්මනිය හා යුරෝපා රාජ්‍යයන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සැලකීමේදී, මෙය තවත් ත්‍රස්ත ප්‍රහාරයක් වීමේ ඉඩකඩ පවතින බවද ඔවුහු පවසා තිබේ. එහිදී, මෙම ප්‍රහාරය සිදුකළ 18 හැවිරිදි ජර්මානු-ඉරාන තරුණයාද ප්‍රහාරයෙන් පසුව වෙඩි තබාගනිමින් සිය දිවි හානිකර ගෙන තිබුණි.
මියුනිච් නගරයේම ජීවත් වී මෙම ප්‍රහාරකයා මීට වසර දෙකකට පෙර ජර්මනිය වෙත සංක්‍රමණය වූවෙකි. ප්‍රහාරය සිදුකිරීමට පෙර තමා ජර්මානුවෙක් යැයි කියා කෑමොර දුන් ඔහු තවත් වරක අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දුන් බවටද සිද්ධිය ඇසින් දුටුවෝ පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, ඔහු කවර පදනමක් මත මෙම ප්‍රහාරය සිදුකළේ දැයි යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව ජර්මානු ආරක්ෂක අංශ පවසයි.
මේ අතර, ප්‍රහාරය සිදුවන මුල් අවස්ථාවේදී තවත් තුවක්කුකරුවන් පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වී යැයි පැවසීම හේතුවෙන් විශාල ආරක්ෂක බලමුළුවක් මියිනිච් වෙත කැඳවා තිබුණි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් පසුව සිද්ධිය වූ ස්ථානයෙන් පළාගොස් තිබූ ප්‍රහාරකයාගේ වෙඩි වැදුණු මළ සිරුර ඊට යාබද ස්ථානයකදී හමුවී තිබුණි.
එමෙන්ම, ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් තිදෙනෙකු ඒ අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමටද ජර්මානු ආරක්ෂක අංශ කටයුතු කළේය.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ප්‍රහාරකයා අවන්හලක සිට දිව යන පිරිසකට වෙඩි තැබූ අවස්ථාවක්
ප්‍රහාරයට ගොදුරුව පුද්ගලයන් නව දෙනෙකු ජීවිතයෙන් සමුගත්හ
ප්‍රහාරය මැඬපැවැත්වීමට විශේෂ ආරක්ෂක බලඇණි කැඳවා තිබුණි
ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට පත්විණි
ප්‍රහාරය නිසා භීතියෙන් ඇලලී, අසරණ වූ මියුනිච් ජනතාව