ඇමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය නම් කිරීම සඳහා පැවති පක්ෂ සම්මේලනයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්දයෙන් එම අපේක්ෂකත්වය සඳහා නම් කෙරීණි.
ඒ අනුව, ඇමෙරිකානු දේශපාලනයට නව මුහුණුවරක් ලබාදෙමින්, නවකයෙකු ලෙස දේශපාලන වේදිකාව දික්විජය කිරීමට ජනපතිවරණ සටනේ මුල් කඩඉම ජයගනිමින් ලෝක ප්‍රකට ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වී ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දක්වා පැමිණි ගමන් මගේදී, ප්‍රධාන දහරාවේ බොහෝ බටහිර මාධ්‍යය ඔහුගේ ගමන වැළැක්වීමට ගත් උත්සාහය එම මාධ්‍යයන්ගේ තොරතුරු වාර්තා කිරීම හොඳින් නිරීක්ෂණය කිරීමේදී වඩාත් පැහැදිලි වන සත්‍යයකි.
පක්ෂ සම්මේලනයේදී පවා ඔහු පසුපස ජන බලවේගයක් නොමැති බව පැවසීමට එකී මාධ්‍ය උත්සාහ කළත් අවසානයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් වඩාත් ප්රබලව එම ජයග්‍රහණය හිමි කරගැනීම සුවිශේෂී කාරණයක් බව ස්වාධීන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පක්ෂ සම්මේලනය අවස්ථාවේදී ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ඉදිරිපත් කළ දේශනය පවා, වත්මන් ජනපති ඔබාමා බිරිඳ වන මිෂෙල්ගේ කතාව හා සමාන යැයි පැවසීම හැර එකී මාධ්‍ය වාර්තාවන්ට එහි දැකිය හැකි කිසිදු විශේෂත්වයක් නොවූ බව පෙනුණි. එමෙන්ම, මෙම දේශනය සකස් කිරීම සඳහා ඇය දේශනා රචක කණ්ඩායමකගේ සහාය ලබාගෙන ඇති බවද එම මාධ්‍ය වාර්තාවල දැක්වුණි. නමුත්, සත්‍යය නම්, සෑම රාජ්‍ය නායකයෙකුටම හා මෙවැනි විශේෂ දේශනවලදී ඕනෑම අයෙකු පාහේ එවැනි උපදෙස් ගැනීමක් හා දේශනය සකස් කරගැනීමක් අලුත් දෙයක් නොවීමය.
කෙසේ වෙතත්, එහිදී, මෙලනියාගේ ආගමනය බොහෝ ස්වාධීන මාධ්‍යවල විශේෂ අවස්ථාවක් ලෙස වාර්තා කර තිබුණි. මෙතෙක් ජනාධිපතිවරණ සටනේ ඉදිරිපෙළ නොසිටි ඇය, වඩාත් තීරණාත්මක මොහොතේ, තීරණාත්මක සාධකයක් ලෙස පක්ෂ සම්මේලනය අමතමින් තම ස්වාමියා රට වෙනුවෙන් සටන් කරන කාරුණික පුද්ගලයෙකු බව කියා සිටියාය.
එමෙන්ම, මෙම දේශනයේදී කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැවැත්වූ දේශනය වඩාත් කතාබහට ලක්වූ එකක් බව ස්වාධීන මාධ්‍ය කියයි. එහිදී, ඔහුගේ දේශනයේ පැවති සුවිශේෂත්වය නිසාම ප්‍රධාන දහරාවේ මාධ්‍යයන්ට පවා ඒ කෙරෙහි හොඳක් පැවසීමෙන් තොරව සිටීමට නොහැකි විය. බොහෝ දෙනා ඔහුගේ දේශනය පිළිබඳ විශේෂයෙන් කතා කර තිබුණි. පක්ෂ සම්මේලනය අමතමින් කණිෂ්ඨ ට්‍රම්ප් කියා සිටියේ තම පියාගේ ගමනේ විය නොහැක්කක් ඇත්නම් ඒ ගමනේ ආරම්භය පමණක් බවය. ඔහුගේ ජීවිත ප්‍රවේශය එයාකාර බව ඔහු අවධාරණය කළේය.
මේ අතර, ට්‍රම්ප්ගේ කණිටු දියණිය වන ටිෆිනි ට්‍රම්ප්ද මෙම සුවිශේෂී පක්ෂ සම්මේලනය ඇමතීමය. විශේෂයෙන්ම සිය පියාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි ඇය කියා සිටියේ, තමා තුළ තමා විසින්ම උසස් චරිතයක් ගොඩනගා ගැනීමට පියාගෙන් සෑම විටම ලැබුණු පන්නරය සුවිශේෂී බවය.
ඒ අනුව, ඔහියෝ ප්‍රාන්තයේ, ක්ලෙවර්ලෑන්ඩ් හි පැවති රිපබ්ලිකන් පක්ෂ සම්මේනලයේදී ඇමෙරිකානු ජනපතිවරණ සටනේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය වෙනුවෙන් වූ නියෝජිත ඡන්ද 1,237 ඉක්මවා යෑමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වී තිබේ.
එහිදී, ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තරග කළ ටෙඩ් ක්රස් වෙත ලැබී තිබුණේ නියෝජිත ඡන්ද 200ක් පමණි. සෙසු අපේක්ෂකය්න වූ මාර්කෝ රූබිඕ, ජෝන් කාසිච් සහ බෙන් කාර්සන් යනාදීන් ලබාගත් නියෝජිත ඡන්ද ඊටත් වඩා අඩු අගයක් ගෙන තිබුණි. ඔවුන්ගේ නම් පක්ෂ සම්මේලනය තුළ ප්‍රකශයට පත්වන විට ඇසුණේ හූ හඬක් පමණි.