කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය වෙත ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (28දා) හදිසියේම ගියේය.
ඒ රුසියාවේ කෙමෙරෝවොහි විනෝද වෙළෙඳ සංකීර්ණයක් තුළ ඇති වූ ගින්නකින් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් රැසකගේ ජීවිත අහිමිවීමේ ඛේදවාචකය පිළිබද සිය ශෝකය පළ කිරීම සඳහාය.
එහි ගිය ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති සමරු ග්රන්ථයේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා වෙත විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ කර ඇත.
මෙම කනගාටුදායක අවස්ථාවේ ශ්රී ලංකා රජයත්, ජනතාවත් රුසියානු රජය සහ එම මිත්ර ජනතාව සමග සිය සංවේගය ඛෙදා ගන්නා බව ජනාධිපතිවරයා සිය ශෝක සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා ශ්රී ලංකාවේ රුසියානු තානාපති යුරි මැටරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ජනාධිපතිවරයා රුසියානු තානාපතිවරයා සමග සුහද කථා බහකටද එක්ව තිබේ.