ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්රබලතම කණ්ඩායමක් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ අනාගතය ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ පසුගිය වර පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී එම කණ්ඩායමේ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ ගුරුනාත් මෙයියප්පන් තරග පාවාදීමේ චෝදනාවලට චූදිතයෙකු වී ඇති හෙයිනි.
අයි.පී.එල්. තරග පාවාදීම් පිළිබඳ විනිසුරු මුකුල් මුඩ්ගල් වාර්තාවට අනුව ගුරුනාත් මෙයියප්පන් තරගාවලිය තුළදී ඔට්ටු තබා ඇති බව තහවුරු වී තිබේ. පිටු 170කින් සමන්විත මෙම වාර්තාව අද (10දා) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙන ආ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැදගත් අභ්‍යන්තර තොරතුරු ගුරුනාත් විසින් හුවමාරු කරගෙන ඇති බව ඉන් තහවුරු වී තිබේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ව්‍යවස්ථාවේ 11.3 වගන්තිය අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කිරීමට වැඩි ඉඩක් පවතින බව එම වාර්තා තවදුරටත් සඳහන් කරයි. මෙම වගන්ති ප්‍රකාරව කිසියම් කණ්ඩායමක නිලධාරියෙකු හෝ අයිතිකරුවෙකු තරගාවලියේ කීර්තිනාමය පළුදු වන අයුරින් කටයුතු කරන්නේ නම්, එම කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කිරීමට කටයුතු කළ හැකිය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් මෙහෙයවන අතර, එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සුරාජ් රන්දිව් හා නුවන් කුලසේකර ක්‍රීඩා කළහ.