(UPDATE) අතුරුදන් වූ මැලේසියානු යානයේ සුන්බුන් යැයි විශ්වාස කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ඔස්සේ සිදුකළ නිරීක්ෂණයන්හිදී කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණ යානා පවසයි.
ඒ අනුව, යානය අතුරුදන්ව ගත වී ඇති හය වැනි දිනටත් ඵල රහිත බලාපොරොත්තු සුන්වීමක් පමණක් ඉතිරි කර තිබේ.
මේ අතර, පුද්ගයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ යානය අවසන් වරට සලකුණු වූ ස්ථානයේ සිට පැය හතරකට වැඩි කාලයක් ගමන් කර ඇති බවට ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු සොයා ගනිමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරයි. මේ තත්ත්වය තුළ යානය කිසිවෙකු බලෙන් ග්‍රහණය කරගැනීමේ සැකය මතුව තිබේ.
බෝයිං 777 යානයේ වූ රෝල්ස් රොයිස් එන්ජිමෙන් ස්වයංක්‍රීයව ඩවුන්ලෝඩ් වන දත්ත උපයෝගී කරගනිමින් යානය සම්පූර්ණ වශයෙන් පැය 5ක කාලයක් ගමන් කර ඇති බව එහිදී අනාවරණය වී ඇති බවද වෝල් ස්ට්‍රීට් ජර්නලය පවසයි.
මේ තත්ත්වය තුළ ඇමෙරිකානු ප්‍රතිත්‍රස්ත කණ්ඩායම් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අතර, මගීන් 239 දෙනා සමග හඳුනා නොගත් ස්ථානයක් වෙත යානය රැගෙන ගොස් ඇති බවටද සැකයක් මතුව ඇති බව කියැවෙයි.
මේ අතර, චීන නායක ලී කෙකින්ග් අවධාරණය කර සිටියේ අතුරුදන් වූ යානය සොයා ගැනීමේ බලාපාරොත්තු කොතරම් සුන් වුවද, එය සෙවීමේ මෙහෙයුම් අත් නොහරින බවයි.
අද උදෑසන වනවිට තත්ත්වය වාර්තා වූයේ මෙසේය.
පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ MH370 දරණ මැලේසියානු යානයේ සුන්බුන් යැයි විශ්වාස කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් චීන රජයේ වෙබ් අඩවිය නිකුත් කර තිබේ.
දකුණු චීන මුහුදේ විශාල යමක් පාවෙන ආකාරය දැක්වෙන ඡායාරූප 3ක් මෙසේ චීන රජයේ වෙබ් අඩවිය නිකුත් කර ඇත. කෙසේ වෙතත් මීට පෙර මෙවැනි සුන්බුන් යැයි විශ්වාස කළ ස්ථානයක් පරීක්ෂා කිරීමේදී එය ඵල රහිත විය.
ඊයේ සවස් වනවිට තත්ත්ය වාර්තා වී තිබුනේ මෙසේය.
'All right, roger that' (සියල්ලම නිවැරදියි, මට ඔබ ඇසුණා) යනු පසුගිය සෙනසුරාදා සිට තවමත් සොයාගැනීමට නොහැකි වූ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය අතුරුදන් වීමට මිනිත්තුවකට පෙර එහි නියමුවන්ගෙන් අවසන් වරට ලැබුණු රේඩියෝ පණිවුඩය බව එරට බලධාරීහු පවසති.
මැලේසියානු ගුවන් පාලන කුලුනින් ලබාදුන් රේඩියෝ පණිවුඩයට පිළිතුරු වශයෙන් MH370 යානයේ නියමුවන් 'All right, roger that' යනුවෙන් පවසා ඇත.
කෙසේ වෙතත්, මේ වනවිටත් යානය සොයා ගැනීමට නොහැකි වීම තුළ දැඩි උභතෝකෝටිකයක් මැලේසියානු බලධාරීන් වෙත මෙන්ම, ලෝකය පුරාම ඇතිකර තිබේ.
එමෙන්ම, යානය සෙවීමේ මෙහෙයුම් සිදුකරන කලාපය තවදුරටත් පුළුල් කර ඇති බවද මැලේසියානු බලධාරීහු අවධාරණය කළහ.
මේ අතර, යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව බටහිරට ගමන් කරමින් තිබූ බවට මඟ හඳුනාගැනීමක් ඇතැයි යනුවෙන් මීට පෙර පළ වූ වාර්තාව මැලේසියානු ගුවන් හමුදා ප්‍රධානියා අද දිනයේ ප්‍රතික්ෂේප කර තිබේ.
බෝයිං 777 වර්ගයේ ලොව ඉහළම විශ්වාසයක් හා ආරක්ෂාවක් පිළිබඳ කියැවෙන මෙම යානය පසුගිය සෙනසුරාදා පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ අතර, එහි ගමන්ගත් වැඩි පිරිසක් චීන ජාතිකයෝ වූහ.