ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පල්ලෙකැල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ කුළුදුල් ටෙස්ට් ශතකය වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් දැන් සමත්විය.
ස්ටීව් ඔ කීෆ්ගේ පන්දුවක් හමුවේ කල්යල් බලා හයේ පහරක් එල්ල කරමින් කුසල් සිය කඩයිම සම්පූර්ණ කළේය. පැය 02යි විනාඩි 32 ක කාලයකට සිට පිටියේ රැදී සිටින කුසල් පන්දු 143කදී ලකුණු සියයේ සීමාව පසුකරගෙන සිටියේය.
මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙකු වන කුසල්ගේ මීට පෙර ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සිදුකළ එංගලන්ත තරග සංචායේ මැයි මස ලීඩ්ස්හි පැවති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ රැස්කළ ලකුණු 53 වේ.
මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 07කට ක්‍රීඩාකර ඇති කුසල්, ලකුණු 454ක් රැස්කරගෙන සිටින අතර, එහි ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 37.83ක් වේ.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ශතකයක් අඩුම වයසින් රැස්කළ පිතිකරුවා කුසල් වන අතර, ඔහු අවුරුදු 21යි දින 117කදී මෙම ශතකය වාර්තා කළේය. මීට පෙර අඩු වයසින් ටෙස්ට් ශතතය රැස්කළ පිතිකරුවා රොමේෂ් කළුවිතාරණ වන අතර, ඔහු අවුරුදු 22යි දින 267කදී එම ශතකය වාර්තා කර ඇත.
1992 වසරේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරයේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති තරගයකදී කළුවිතාරණ තම මංගල ටෙස්ට් තරගයේදී එම ශතකය වාර්තා කර ඇත.