මුස්ලිම් ජනතාවට තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුව වර්ජනය කරන බව පවසන ආණ්ඩුව ඇතුළට වී සුරතල් වෙමින් සිටින මුස්ලිම් අමාත්‍යවරුන් සියලු දෙනාම කැබිනට් මණ්ඩල රැස්වීම් වර්ජනය කර පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මුස්ලිම් අමාත්‍යවරුන්ට අභියෝගයක් ඉදිරිපත් කරයි.
මුස්ලිම් ජනතාවට දහසකුත් ප්‍රශ්න තිබියදී එම ජනතාවගේ ඡන්ද ලබාගෙන ආණ්ඩුව තුළ සුරසැප විඳින කිසිදු මුස්ලිම් අමාත්‍යවරයෙකු මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින බවත්, එහෙත් දේශපාලන වාසි ලබාගැනීම සඳහා ආණ්ඩුව සමග එක්ව විවිධ උප්පරවැට්ටි සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේදී සහ නැගෙනහිරදී එළවා දැමූ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් එම භූමියේදීම ලබා නොදී රට තුළ තිබෙනා ස්වභාව සම්පත් විනාශ කර දමමින් ජාතික වනෝද්‍යාන තුළ ජනතාව පදිංචි කරවීමට මුස්ලිම් ඇමතිවරුන් කටයුතු කරන බවයි.