කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ ගුවන් යානා ධාවන පථය අලුත් කිරීම සඳහා 2017 වසරේ ජනවාරි මස 05 දා සිට මාස පහක කාලයක් වසා තබන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
ඊයේ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ පෙ.ව. 8.30 සිට පස්වරු 4.30 දක්වා දිනපතා පැය අටක කාලයක් ගුවන්තොටුපොළ වසා තබන බවයි. ටෙන්ඩර් ක්‍රියාපටිපාටියකින් පසුව නෙදර්ලන්ත සමාගමට අදාළ අලුත්වැඩියා කිරීමේ කටයුතු බාරදුන් බවද අමාත්‍යවරයා කීවේය.
1958 වසරෙන් පසුව මේ දක්වා කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රධාන ධාවන පථය අලුත්වැඩියා කර නොමැති බවත් ජාත්‍යන්තර ගුවන්ගමන් රෙගුලාසි අනුව තවත් වසරක කාලයක් පමණක් ධාවන පථයට භාවිතට ගත හැකි නිසා එය අලුත්වැඩියා කිරීමට සිදුවෙන බවද අමාත්‍යවරයා පැවැසීය.
එසේම ගුවන්තොටුපොළේ නව ගුවන් යානා පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුද එළැඹෙන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර ජපන් සහයෝගිතා ආයතනය විසින් ලබාදෙන රුපියල් මිලියන 56ක ණයක් යටතේ මෙහි ඉදිකිරීම් සිදුකරයි.