කොළඹ සිදුවන සංවර්ධනය උතුරේ මහඇමතිවරයා අවබෝධ කරගත යුතුයැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
වෙනම රටක් ගැන කතාකරන උදවිය එම රටට වතුර නැති විත්තිය තේරුම් ගතයුතු බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී යාපනය මහ නගරයක් හැටියට ගොඩ නගන බවද පවසා සිටියේය.
කොළඹ නාගරික මහල් නිවාසවල පදිංචි ප්‍රජාවගේ අධ්‍යාපන, ක්‍රීඩා, වෘත්තිය, නායකත්වය හා සෞන්දර්ය කුසලතා දියුණු කිරීම සඳහා වන සුහුරු පුරවර අධ්‍යාපන වැඩසටහනේ දෙමටගොඩ මිහිඳුසෙත්පුර මහල් නිවාස සංකීර්ණය අසලදී අද (28) පැවැති සමාරම්භක උත්සව අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වු රණවක මහතා,
“අපි යාපනය උපාය මාර්ගිය නගරයක් හැටියට දියුණු කරන්න කටයුතු කරගෙන යනවා. යාපනයට තියෙන ප්‍රධාන බාධාව ජලය නොමැතිකමයි. යාපනයෙන් පටන් ගන්න ගඟකුත් නෑ, යාපනයට ගෙනියන්න ගඟකුත් නෑ. ඕලන්ද කාලේ හදපු ආඬි ළිඳවල් ටික විතරයි තියෙන්නේ. ඉරණමඩු වැවෙන් යාපනයට ජලය ගෙනියන්න පසුගිය රජය සහ මේ රජය වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒකට ඉරණමඩු වැව ආශ්රිත ප්‍රදේශයේ අය විරුද්ධ වුණා. නමුත් මේ රජය කළුගඟ හරස් කරලා මොරගහකන්ද අතිවිශාල ජලාශය හදලා ඉරණමඩුව කරා ගෙනියන්න කටයුතු කරලා තියෙනවා.
එකම සිංහල මිනිහෙක්වත් කියලා නෑ පොළොන්නරුවට, අනුරාධපුරයට වතුර දෙන්න හැබැයි වන්නියට වතුර දෙන්න එපා කියලා. අපේ මිනිස්සු අතරේ ඒ වගේ කුණුවෙච්ච ගෝත්‍රවාදයක් නැහැ. දැන් බලය බෙදීම ගැන ගොඩක් දෙනෙක් ලොකුවට කතාකරනවා. නමුත් වෙනම රටකත් එහේ තිබුණනම් ඒ රටට වතුර නැති විත්තිය හැමදෙනාම අමතක නොකළ යුතුයි. එදා අපේ රජදරුවො අඹන් ගඟෙන් හරවපු ජලයයි හෙට ඉරණමඩුවටත්, අනිද්දා යාපයනටත් ගෙනියන්නේ. යාපනයත් මහා නගරයක් හැටියට අපි ගොඩනගන බව ප්‍රකාශ කරන්න ඕන. කොළඹ නගරයෙන් ලබාදී තිබෙන ආදර්ශය සටන් පාඨ මුමුණන මහඇමතිවරයා ඇතුළු උතුරේ දේශපාලඥයන් අවබෝධ කරගත යුතුයි.”යැයි පවසා සිටියේය.