කල්පිටිය උච්චමුණේ දූපතේ ධීවරයන් පිරිසක් සන්තකයේ සංචාරක හෝටල්වලට මස් සඳහා විකිණිමට සූදානම් කොට තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ කැස්බෑවුන් අතරින් තවත් එක් කැස්බෑවෙකු ඊයේ (25 දා) වනජීවි නිලධාරීන් විසින් කල්පිටිය මුහුදට මුදාහැරීමට පියවර ගනු ලැබිණි.
කල්පිටිය පොලීසිය විසින් පසුගියදා (24 දා) උච්චමුණේ දූපතේදී කැස්බෑ මස් කිලෝ 11 1/2 ක් හා කැස්බෑවන් තිදෙනෙකු ළඟ තබා ගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. එම කැස්බෑවන් තිදෙනා වනජීවි නිලධාරීන්ට භාර දීමට පොලීසිය විසින් පියවර ගෙන තිබූ අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු පසුව කල්පිටිය මුහුදට මුදාහැරීමට පියවර ගෙන තිබුණි.
කකුලක ඇතිව තිබූ ආබාධයක් හේතුවෙන් අනෙක් කැස්බෑවාට වනජීවි පශූ වෛද්‍ය නිලධාරී චන්දන ජයරත්න මහතා විසින් ප්රතිකාරකර සුවය ලැබීමෙන් පසුව ඊයේ (25 දා) පෙරවරුවේ කල්පිටිය මුහුදට මුදාහැරීමට වනජීවි නිලධාරීහු පියවර ගත්හ.
වඳ වීයෑමේ තර්ජනයට ලක්ව සිටින මුහුදු කැස්බෑවෙකු ළඟ තබාගැනීම දඩ හා සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව වනජීවි නිලධාරීහු පවසති.
කල්පිටිය සංචාරක කලාපයට එන විදේශිකයන් කැස්බෑ මස් හා බිත්තර ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් කැස්බෑවුන් ඉහළ මිලකට මිලදී ගැනීමට සංචාරක හෝටල් හිමියෝද පෙළඹී සිටිති.
මේ නිසා මෙම සත්ත්ව කොට්ඨාසය ඉතා කෙටි කලකින් වඳවී යෑමට ඉඩ ඇතැයි පරිසරවේදීහු පවසති.
වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීමෙන් පසු සුවය ලැබූ මුහුදු කැස්බෑවා මුදා හළ අයුරු ඡායාරූපවලින් දැක්වේ.