වැට් බදු සංශෝධනයක් සිදු වුවද කිසි ලෙසකින් ඉන්ධන මිළ ඉහළ දැමීමක් සිදු නොවන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
ඩීසල් ලීටරය මත රුපියල් 06 ක බදු මුදලක් පැනවීමට තීරණයක් ගෙන තිබූ බවත්, එහෙත් තමා මැදිහත් වී එම බර ජනතාව මත පැටවීමට පවා කටයුතු නොකළ බවත් ඔහු පවසා සිටියේය.
ඊයේ (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවට බර නොදැනෙන ලෙස බදු අය කරගන්නා ලෙසට රජයට යෝජනා කරන බවයි.
බදු අය නොකර රටක් ඉදිරියට ගෙනයාමට නොහැකි බවත්, ලෝකයේ බොහෝ රටවල් ජනතාවගෙන් බදු අය කරගන්නා බවත් කී අමාත්‍යවරයා ලංකාව තුළ ජනතාවගෙන් අය කරන බදු ප්‍රමාණය ඉතාමත් අඩු බවද සඳහන් කළේය.
මේ නිසා රජයේ ආදායම ඉහළ දමා ගැනීමේදී බදු අය කරගත හැකි පුද්ගලයන්ගේ ආයතනවලින් බදු අය කරගත යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව තෙල් සංස්ථාවේ නැව තෙල් වෙළෙඳාම් කරන ආයතනයකින් බලපත්‍ර ගාස්තුව ලෙස අය කරගන්නේ වර්ෂයකට ඩොලර් 100 ක්
බවත්, මේ නිසා එම මුදල ඉහළ දැමීමට කටයුතු කරන ලෙසට රජයට යෝජනා කළ බවත් වීරක්කොඩි මහතා කියා සිටියේය. විශාල ලාභ ලබන එම ආයතනවලට ඩොලර් 100 ක් යනු සුළු මුදලක් බවද ඔහු කියා සිටියේය.
මීට අමතරව සින්තටික් ලිහිසි තෙල් සහ බ්රේක් ඔයිල් සඳහා කිසිදු බදු මුදලක් අය නොකරන අතර, ලිහිසි තෙල් බලපත්‍ර නොමැතිව වෙළෙඳ පොළට නිකුත් කරන බවත්, මේ සියලු දේට බදු මුදල් යොදවන්නැයි රජයට යෝජනා කළ බවත් හෙතෙම සඳහන් කළේය.