ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගම හා රජය අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට වහාම පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඊයේ (11දා) පස්වරු 4.00 සිට පැය දෙක හමාරක් පමණ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇවන්ට් ගාඩ් පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.
මෙතෙක් පැවති සියලු චෝදනා සනාථ වන පරිදි මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබූ අතර, සාකච්ඡාවට සහභාගී වූ සියල්ලන්ම එම කරුණු පිළිගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අවිආයුධ ගනුදෙනුවේදී ක්‍රමවේද සහ නීතිමය කාරණා පිළිබඳව මෙහිදී නාවික හමුදාපතිවරයා කරුණු දැක්වූ බවත්, මේ අනුව සියලුම අවි නාවික හමුදාවට ලබාදීමට තීරණය කළ බවත් රාජිත සේනාරත්න මහතා පැවසීය. මෙම සාකච්ඡාවේදී හොර ගනුදෙනු ගැන තොරතුරු හෙළිවූ බවත්, ඒ සියල්ල පිළිබඳව විමර්ශනය කර වහාම නීතිමය පියවර ගන්නැයි පොලිස්පතිට හා නීතිපතිට ජනපතිවරයා දැන්වූ බවත් සේනාරත්න මහතා පවසා සිටියේය.
එම සාකච්ඡාවට පොලිස්පති, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ අධ්යක්ෂවරුන්, නාවික හමුදාපති, රක්නා ලංකා නියෝජිතයන් ඇතුළු නිලධාරීහුද, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුද සහභාගී වූහ.
මේ පිළිබඳව විමසීමක් කළද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් අදහස් නොදැක්වූ අතර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පැවසුවේ මේ පිළිබඳ වැඩිදුර විස්තර පසුව ප්‍රකාශ කරන බවයි.
චාමර සම්පත්/ අමිත් මධුරංග