සැරව ගලන තුවාලයක් බවට පත්විය හැකි සහ නැවත ගැටුම් ඇතිවිය හැකි අතීත යුද තුවාලයෙන් ඔබ්බට තවමත් ශ්‍රී ලංකාව ගමන් කර නොමැති බවට අදහස් පවතින බවත්, ජාත්‍යන්තර ප්‍රජාවේ කිසිවෙකු එවැනි තත්ත්වයක් බලාපොරොත්තු නොවන බවත්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් මහත්මිය පවසා සිටියාය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙම අදහස් දක්වා සිටියේ අද (31දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සමග පැවති සාකච්ඡාවේදීය.
කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවට එරෙහි න්‍යාය පත්‍රයක් නොමැති බව අවධාරණය කළ සහකාර ලේකම්වරිය, එනමුදු, ඇමෙරිකාව සොයාගෙන ඇති තක්සේරුකිරීම් මත ඇතැම් කාරණා සම්බන්ධයෙන් යම් බලකිරීමක් කිරීමේ හැකියාව ඔවුන්ට ඇති බවද පෙන්වා දුන්නාය.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ, මෙසේ මතුකර දක්වන ඇතැම් කාරණා ආමන්ත්රණයට ශ්‍රී ලංකීය ක්‍රියාවලියක් යොමුකරවන ලෙස ඇමෙරිකාව ඉල්ලා සිටි බවයි. එනමුදු, එසේ ලබාදුන් ඉඩප්රස්ථා ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බවට අදහස් පවතින්නේ යැයිද ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සමග ධනාත්මක සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට ඇමෙරිකාවට අවශ්‍ය බවත්, එය ක්ෂේත්‍ර රැසක් හරහා පවත්වාගෙන යා යුතු බවත් සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් මහත්මිය මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා සිටියාය.