පාර්ලිමේන්තුව වෙත ඊයේ (25දා) විවාදයට ඉදිරිපත් කර ඇති අලුත් ගැසට් පත්‍රයේ නියමයන්වල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම් යන්න සඳහන් නොවන බවත්, රජය කැසිනෝ දැමීම සඳහා ඉඩ ලබානොදෙන බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
2013 සැප්තැම්බර් 23 වැනිදා සඳුදා ඉදිරිපත් කළ ගැසට් පත්‍රයේ විරුද්ධ පක්ෂය කියන සූදූ සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම්වලින්ද යනුවෙන් කියා තිබුණ බවත්, මෙම ගැසට් නිවේදනවලට අදාළ නියමයන්වලින් එය ඉවත් කළ බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ එජාපයේ ජෝසප් මයිකල් පෙරේරා මහතා සිය අදහස් පළ කරමින් සිටි අවස්ථාවේ දීය.
“ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් සම්මත කර ගැනීම සඳහා පැවැත් වූ විවාදයේදීයි මෙය ඉදිරිපත් කළේ. මෙම ගැසට් නිවේදනයට අදාළ ගිවිසුම් තවම අත්සන් කර නැහැ. ගිවිසුම් අත්සන් කළාම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අදාළ ගිවිසුම් සභාගත කරන බවට රජය වෙනුවෙන් වගකීමෙන් අපි කියනවා.“ යැයි අමාත්‍යවරයා පැවසීය.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද නියමයන් දෙකක් ඊයේ (25දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
විවාදය අවසානයේ මෙම නියමයන් දෙක සඳහා වෙන වෙනම ඡන්ද විමසන ලද අතර වැඩි ඡන්ද 65ක් හා 68ක් ලබාගනිමින් නියමයන් දෙකම සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂයට හැකි විණි.
අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා ඇති 2014 ජනවාරි 30 දිනැති අංක 1847/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, පෙබරවාරි 18 දින ඉදිරිපත් කරන ලද නියමය සඳහා පක්ෂව ඡන්ද 112ක් ද විපක්ෂව ඡන්ද 44ක් ද ලැබිණි.
2014 ජනවාරි 30 දිනැති අංක 1847/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, පෙබරවාරි 18 දින ඉදිරිපත් කරන ලද නියමය සඳහා පක්ෂව ඡන්ද 109ක් ද විපක්ෂව ඡන්ද 44ක් ද ලැබිණි.