දැයට කිරුළ වැඩසටහනට රුහුණු විශ්වවිද්‍යාල භූමිය තුළ ඉඩ ලබානොදෙන බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළත්, අන්තරය යනු මේ රටේ ආණ්ඩුව නොවන නිසා එවැනි දෙයක් සිදුකළහොත් ඒ සියලුම දෙනාත්, ඔවුන්ගේ දෙමවුපියනුත් හැංගෙන්නට තැන් සොයාගන්නා ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අනතුරු අඟවයි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යනු මෙරට තුළ ලියාපදිංචි සංගමයක්වත් නොවන බවත්, මීට අමතරව දැයට කිරුළ වැඩසටහන යනු විශ්වවිද්‍යාලවලට ප්රතිලාභ ලැබෙන දෙයක් නිසා එවැනි වැඩපිළිවෙළක් කිසිවෙකුටත් නවතා දැමිය නොහැකි බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
ඊයේ (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වයඹ විශ්වවිද්‍යාලය මූලික කරගනිමින් පසුගියදා පැවති දැයට කිරුළ වැඩසටහන තුළින් රුපියල් මිලියන 15කට අධික ප්රතිලාභ විශ්වවිද්‍යාලයට ලැබුණු බවයි.
එවන් තත්ත්වයක් තුළ රුහුණු විශ්වවිද්‍යාලයට ඊට වඩා ප්රතිලාභ ප්‍රමාණයක් මෙම වැඩපිළිවෙළ තුළින් ලැබීමට නියමිත බවත්, එවැනි වැඩපිළිවෙළක් කඩාකප්පල් කිරීමට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයද කිසි විටෙකත් ඉඩ ලබානොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
යම් ලෙසකින් එවැනි වැඩපිළිවෙළක් සිදුකිරීමට උත්සාහ කළහොත් එම පිරිස සහ ඔවුන්ගේ දෙමාපියන්ට හැංගෙන්නට තැන් සොයාගෙන සිදුකරන ලෙසද ඔහු පවසා සිටියේය.