අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් චීනයේ බෙයිජිං නුවර පිහිටි මැලේසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පොලීසිය සමග ගැටුමක් ඇතිකර ගත් බව වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියාවට බටහිර මුහුදේදී MH370 යානයේ ගමන නැවතී ඇති බව නවතම චන්ද්‍රිකා දත්තවලින් තහවුරු වන බව මැලේසියානු අගමැති නජීබ් රසාක් ඊයේ (24දා) පවසා සිටීමත් සමග යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීහු බලවත් සංවේගයටත්, කෝපයටත් පත්ව ඇති බව වාර්තා වෙයි.
මේ අතර, මැලේසියාව අදාළ තොරතුර තහවුරු කිරීම සඳහා යොදාගත් චන්ද්‍රිකා දත්ත චීනය විසින් ඉල්ලා සිටී.
කෙසේ වෙතත්, දකුණුදිග ඉන්දීය මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණය නිසා අද දිනයේ MH370 යානයේ සියලු සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති බව බලධාරීහු පවසති.
බ්‍රිතාන්‍යයේ පෞද්ගලික චන්ද්‍රිකා සමාගමක් වූ ඉන්මාසැට් විසින් මෙම දත්ත ලබාදී ඇති අතර, ඔවුන් රේඩාර් සංඥා මෙන්ම ගණිතමය මොඩලයක්ද යානයේ අවසන් ගමන දකුණු ඉන්දීය සාගරයෙන් නිමවී ඇති බව තහවුරු කිරීමට යොදාගෙන තිබුණි. එහිදී, අදාල දත්ත තේරුම් ගැනීම සඳහා 19 වැනි සියවසේදී භාවිත වූ ‘ඩොප්ලර් ආවරණය’ (Doppler effect) නමැති ක්‍රමවේදය ඔවුන් යොදාගෙන තිබූ බව කියැවෙයි.
යානය සාගරයට කඩා වැටී ඇතැයි යන ප්‍රකාශය අගමැතිවරයා විසින් සිදුකිරීමට පෙර මැලේසියානු ගුවන් සේවය SMS පණිවුඩයක් මගින් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන්ට කියා සිටියේ යානයේ සියලු දෙනා නැතිවූ බව හා ජීවිතය රැකගත්තෙකු සිටිය නොහැකි බවය.
කෙසේ වෙතත් යානය සොයා ගැඹුරු මුහුදේ නිරීක්ෂණයක් සිදුකිරීමට දැන්ම ඉක්මන් වැඩි බව ප්‍රංශ නිරීක්ෂකයන් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය සඳුදා දිනයේ පවසා සිටියේය.
පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන ගුවන්ගතව පැයකින් පමණ පසු මාර්තු 8 වැනිදා අතුරුදන් වූ MH370 ට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට පසුගිය සති කිහිපය පුරාවට ලොවම බලා සිටියේය.