(UPDATE) 08.00 PM
ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුලු දූත පිරිස අද (01) දින පස්වරුවේ ජකර්තා නුවර සුකර්නෝ – හත්තා ඡාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දුනීසියාවට ළඟාවූහ.
ජකර්තා නුවරට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දුනීසියාවේ වෙළඳ කටයුතු අමාත්‍ය එන්ගර්තියස්තෝ ලූකිතා මහතා විසිනි. එම අවස්ථාවට ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා මහතා ප්‍රමඛ තානාපති කාර්යාලයීය නිලධරීහු ද එක්ව සිටියහ.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ජාතික ඒකාබද්ධතා සහ සංහිදියා රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරුන් ද මේ සංචාරයට එක්ව සිටිති.
2016/08/01 - 12.30 PM
සිය දෙදින ඉන්දුනීසියානු නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01දා) දහවල් 12.30ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දුනිසීයාව බලා පිටත්ව ගියේය. ඔහු සමග 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්වූහ.
ටී.කේ.ජී. කපිල
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක් හෙට (01 දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වන වික්‍රමසිංහ මහතා, ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ, මුදල් අමාත්‍ය ශ්‍රී මුල්යානි ඉන්ද්‍රවතී සහ සමුද්‍ර කටයුතු අමාත්‍ය ලූහුත් බින්සාර් පන්ජයිතාන් යන මහත්ම මහත්මීන් ද හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
12 වන ලෝක ඉස්ලාම් සමුළුවේ ආරම්භක සැසිවාරයේදී විශේෂ දේශනයක් පැවැත්වීමට ද වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබී ඇති අතර, එම සමුළුව අතරතුර මැලේසියානු අග්‍රාමාත්‍ය දතෝ ශ්‍රී නජිබ් තුන් අබ්දුල් රසාක්, තජිකිස්තාන් ජනාධිපති එමොමලි රහ්මාන්, ජෝරාදාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ජවාඩ් අල් අනානි ඇතුළු රාජ්‍ය නායකයින් කීප පලක් ද හමුවීමට නියමිතය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ජාතික ඒකාබද්ධතා සහ සංහිදියා රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, පස් අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මේ සංචාරයට එක්වෙති.