ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වූ ජාතික මාර්ගෝපදේශ පද්ධතියක් හඳුන්වාදිමට අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජාතික ළමා රක්ෂණ අධිකාරිය කටයුතු කර තිබේ. ඒ අනුව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචිය හා නිරීක්ෂණය සිදුකරීම, එක් සුරැකුම්කරුවෙකුට ඇති ළමුන් සංඛ්‍යාව පිළිබඳ අනුපාතය, බඳවා ගැනීමේ ක්‍රියාවලීන්, ළමා සුරැකුම්කරුවන් සඳහා වූ අවම සුදුසුකම්, සුරැකුම් මධ්‍යස්ථාන යටිතල පහසුකම් ආදිය පිළිබඳව ප්‍රමිතින් හඳුන්වාදීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒකාබද්ධ පුවත්පත් නිවේදනය
(අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජාතික ළමාරක්ෂණ අධිකාරිය)
ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වූ ජාතික මාර්ගෝපදේශ
වඩ වඩාත් කාන්තාවන් සේවා ස්ථානය වෙත පිවිසීම සහතික කරනු පිණිස, රජය විසින් දිවයින පුරා ගුණාත්මක දිවා සුරැකුම් සේවාවක් තහවුරු කරන බවට සහතික වේ. ජාතික ළමාරක්ෂණ අධිකාරිය (NCPA) හා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සවිස්තරාත්මක ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වූ ජාතික මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කර ඇත. එමගින්:
i. දිවයින පුරා පවත්නා මධ්‍යස්ථාන අතර තත්ත්ව නිශ්චිත, ප්‍රමිතිගත කාර්යාවලීන් ක්‍රියාත්මක වන බවට සහතික කිරීම
ii. උසස් ගුණාත්මක භාවයේ, සුරක්ෂිත හා සැලකිලිමත් ළමා ආරක්ෂණ පහසුකම් හා ළමා ආරක්ෂණ සම්පාදකයන් ප්‍රවර්ධනය
iii. ළමා ආරක්ෂණ හා සමස්ත ළමාවිය සංවර්ධන අවශ්‍යතා පුද්ගල සංවර්ධන ඉලක්ක හා සමග සපුරාලන හා ඒකායනය කරන බවට සහතික වීම
iv. නිශ්චිතව දක්වන ලද ප්රමිතීන් කරා ළඟා වී වයස අවුරුදු 18 දක්වා වයස් කාණ්ඩලවල දරුවන් සඳහා සේවා ලබාදීමට ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම හා ඒවා පිහිටුවීමට අවශ්‍ය මග පෙන්වීම් සම්පාදනය
ඉලක්ක කෙරේ.
කෙටුම්පත්කරණ ක්‍රියාවලිය තුළ ජාතික මට්ටමේ හා පළාත් සහ දිස්ත්‍රික් මට්ටම්වලින්ද සැකසුණු පුළුල් පරාසයක විහිදුණු උපදේශන ආයතන ගණනාවක අදහස් ඇතුළත් කෙරිණි: පරිවාස හා ළමාරක්ෂණ සේවා අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය , නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, රාජ්‍ය නොවන සංවිධාන (NGOs), ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGOs), ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයන්, හා ක්ෂේත්රයේ ප්‍රවීණයන් වශයෙනි.
මාර්ගෝපදේශ යටතේ, පළාත් පරිවාස කොමසාරිස්වරුන් විසින් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචිය හා නිරීක්ෂණය සිදුකරනු ඇත. මාර්ගෝපදේශ තුළ එක් සුරැකුම්කරුවෙකු හට ඇති ළමුන් සංඛ්‍යාව පිළිබඳ අනුපාතය, බඳවා ගැනීමේ ක්‍රියාවලීන්, ළමා සුරැකුම්කරුවන් සඳහා වූ අවම සුදුසුකම්, සුරැකුම් මධ්‍යස්ථාන යටිතල පහසුකම්, සුරැකුම්, ඉගෙනීම, ක්‍රීඩා ආදිය පනවනු ලබයි. පනවා ඇති ප්රමිතීන් සාක්ෂාත් කරගනු පිණිස ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත මෙම මාර්ගෝපදේශ මගින් වසර දෙකක සහන කාලයක් සපයා දෙනු ලබයි.
මෙයට සමාන්තර ක්‍රියාවලියක් තුළ, ළමා දිවා සුරැකුම් සම්පාදනය පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 මට්ටමේ විෂය මාලා කෙටුම්පතක් ජාතික ළමාරක්ෂණ අධිකාරිය විසින් වැඩිදියුණු කරනු ලැබ ඇති අතර ඒවා ළමා සුරැකුම් ක්‍රියාකාරීන් හා මෙම විෂයය පිළිබඳ ඇල්මක් දක්වන්නාවූ අය වෙත කඩිනමින් ලබාදීමට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය හා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටී.