එක්සත් ජනපදය තුළ ටික්ටෝක් යෙදුම ඩවුන්ලෝඩ් කිරීම තහනම් කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය විසින් කරන ලද නියෝගයට එරෙහිව තාවකාලික වාරණ නියෝගයක් ඉල්ලා ටික්ටොක් සමාජ ජාලය විසින් ගොනුකළ ඉල්ලීම එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු අර්ධ වශයෙන් ලබාදී තිබේ.
ඒ අනුව එක්සත් ජනපද රජය විසින් යෙදුම ඩවුන්ලෝඩ් කිරීම තහනම් කිරීමේ ප්‍රතිපත්තිය බලාත්මක වීමට පැය කිහිපයකට පෙර මෙම තීන්දුව විසින් එය අවහිර කර ඇත.
මෙම තහනම ව්‍යවස්ථා විරෝධී සහ නියමිත ක්‍රියාදාමය උල්ලංඝනය කිරීමක් ලෙස ටික්ටොක් විසින් අභියෝගයට ලක් කිරීමෙන් පසුව ඔවුන් ලැබූ ජයග්‍රහණයකි.
ජනාධිපතිවරණයකට පෙරාතුව ඇමෙරිකාවේ නිදහස් හා ප්‍රවේශ විය හැකි සන්නිවේදනයේ අවශ්‍යතාව පවතින මොහොතේම මෙම තහනම අසාමාන්‍ය ක්‍රියාවක් වනු ඇතැයි ටික්ටොක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් නඩු විභාගයේදී කරුණු දක්වා තිබුණි.
මේ අතර රජයේ නීතීඥයන් තර්ක කර තිබුණේ චීන සමාගමක් විසින් ටික්ටොක් සතු අයිතිය ජාතික ආරක්ෂාවට ක්ෂණික අනතුරක් ඇති කරන බවය.
යෙදුමේ මව් සමාගම වන බයිට් ඩෑන්ස් බීජිං හි පිහිටා ඇති අතර, ට්‍රම්ප් පරිපාලනය කියා සිටින්නේ යෙදුමේ ඇමෙරිකානු පරිශීලක දත්ත චීන රජය අතට පත්වීමේ අවදානම පවතින බවය.
ටික්ටොක් සමාගම මෙම තර්කය ප්‍රතික්ෂේප කර ඇති අතර, එය සිංගප්පූරුවේ අමතර ගබඩා කිරීමක් (බැකප්) සහිතව එක්සත් ජනපද දත්ත එරට තුළම රඳවා ඇති බව කියයි.