සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ සංහිඳියාව සඳහා දමිළ ජනතාවගේ අභිලාෂයන් හා සමපාත වන සහ ශ්‍රී ලංකාව ශක්තිමත් කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ පදනම යටතේ එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ බලය බෙදීමට ඉන්දියාවේ සහාය ලබාදෙන බව TNA නියෝජිත පිරිසට ඉන්දීය මහ කොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.
TNA නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත TNA නියෝජිත පිරිසක් මහ කොමසාරිස්වරයා හමුවූ අවස්ථාවේදී මෙම සාකච්ඡා පැවැත්වී තිබේ. කලින් සැලසුම් කර තිබූ මෙම හමුව අද (17දා) ඉන්දියා හවුස් හිදී පැවැත්වී ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නායක මාවයි සේනාධිරාජා මහතා සහ TNA පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු මෙම හමුව සඳහා සහභාගී වී තිබුණි. නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ දේශපාලන අංශ ප්‍රධානී භානු ප්‍රකාශ් මහත්මියද මහ කොමසාරිස්වරයා සමග මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සහ පශ්චාත් කොවිඩ් සමය තුළ දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. උතුරු නැගෙනහිර පළාත් හි ජනතාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට සාමයේ ප්රතිලාභ භුක්ති විඳීමට අවකාශ සලසාලන නිවාස වැනි සමාජ යටිතල පහසුකම් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉන්දියාව දිගුකාලීනව කැපවෙන බවත්, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්රයන් හි පුනර්ජීවනයට සහ සංවර්ධනයට ඉන්දියාවේ සහාය ලබාදෙන බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා තිබේ.
උතුරු නැගෙනහිර පළාත් හි ජනතාවගේ බලය බෙදීමේ සහ සංවර්ධන අභිලාෂයන්හි විවිධ පැතිකඩ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්රමයේ සහ ව්‍යවස්ථාවේ ඉතා වැදගත් කොටසක් වන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව TNA නියෝජිත පිරිස විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ.