ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය පිළිබදව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් පොහොට්ටු - ශ්‍රීලනිප ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් නැවත සළකා බැලිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒ පිළිබදව තීන්දුවක් ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දේන්නේ අය වැය ඡන්දය මගහැරීමෙන් ශ්රීලනිපය නැවතත් මේ රටේ ජනතාව රැවටූ බවයි.
උඩුගම්පලදී මිනුවන්ගොඩශ්රී ලංකා පොදුජන පෙරමුණේ උපාධීධාරී සංගමයේ රැස්වීමක් ඊයේ (06දා) රමතමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය. ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීම සදහා මෙම රැස්වීම පැවත් විණි.
"ආණ්ඩුවේ සිහින අය වැය අවසන් ඡන්ද විමසීම වෙලාවේ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඊට කලින් දවසේ අපේ කණ්ඩායම් රැස්වීමට ආපු ජනාධිපතිවරයා කිව්වේ මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ කියලයි.
තමන්ට වැඩ කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා කියලා නාහෙන් අඩපු ජනාධිපතිතුමා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළා. ඒ වුණාට පහුවදා අය වැය ඡන්දය වෙලාවේ ඡන්දය දීමෙන් වැළකී ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට උපදෙස් දුන්නා.
ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රීලනිප මේ කලේ අනියම්ව රනිල්ට හා රනිල්ගේ ආණ්ඩුවට ආශිර්වාදයක් ආණඩුව පවත්වාගෙන යාමට උදව්වක් . කොටින්ම කිව්වොත් දෙපිට කාට්ටු වැඩක්. ශ්‍රීලනිපයේ දවල් මිගෙල් රෑ දනියල් ප්‍රතිපත්තිය තමයි මේකෙන් නැවත පැහැදිලි වුනේ.
ශ්‍රීලනිපයේ හැසිරීම අපට කිසිසේත් අනුමත කරන්න බෑ. ආණ්ඩුව විවේචනය කරනවනම් කොන්දක් ඇතිව තීන්දුවක් ගන්න මේ අයට පුළුවන්කමක් තියෙන්න ඕනෙ. 2015 ජනවාරි 08 වෙනිදා ඉදලා අද දක්වාම මේ අය කළේ ශ්‍රී ලංකා කාරයන් වගේම රටත් රවට්ටපු එක.
මේ රටේ ජනතාව රවට්ටපු එක. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ. ඒ නිසා සන්ධානයක් සඳහා යන පොහොට්ටු - ශ්‍රීලනිපෙ සාකච්ඡා ගැන අපට නැවත නැවත සිතා බලන්න වෙනවා. ඒකාබද්ධ විපක්ෂනායකයන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි.”