ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශ්ව මගින් එල්ලවන කෙණෙහිළි කම් නිසා රජයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානමින් සිටින බවට පළ ව ඇති පුවත් සම්බන්ධයෙන් ඊයේ හම්බන්තොට දී මාධ්‍යවේදීහු පිරිසක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් කරුණු විමසූහ.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත්වීමට යනවා යැයි සඳහන් ප්රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නැහැ. අපි විශ්වාස කරන්නේ පොදු ජන පෙරමුණු පක්ෂය තුළ සිටින අති බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන අත්පොත තැබූ අය. ඒ අය කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්නට කටයුතු කරන්නේ නැහැ.
නමුත් අපිට ප්‍රශ්න නැත්තේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල නිරතව සිටින අපේ පළාත් හා ප්‍රාදේශීය දේශපාලනඥයින්ට මෙන්ම සංවිධායකවරුන්ට යම් යම් ගැටළු සහගත තත්ත්වයන්, කෙණෙහිළිකම් පොදු පෙරමුණේ ප්‍රාෙද්ශීය දේශපාලනඥයින්ගෙන් එල්ල වන බවට ඒ අය අපිට නිතරම මැසිවිළි නගනවා.
නමුත් අපි තවමත් පොදු පෙරමුණු පක්ෂයේ මුල් පෙළේ නායකයින් වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් පිළිබඳ දැඩි විශ්වාසයක් තිබෙනවා. එතුමන්ලා සමග සාකච්ඡා කර එම ගැටළු නිරාකරණය කර ගැනීමට උත්සාහ දරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ පළාත් හා ආසන සංවිධායකවරුන්ගේ ගැටළු සම්බන්ධවත් විසඳුම් ලබා දෙනු ඇතැයි අපි තුළ විශ්වාසයක් තිබෙනවා.
අනික් කාරණය තමයි සමහර ප්රවෘත්ති පළ වෙලා තියෙනවා මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වෙලා සමගි ජන බලවේගයත් එක්ක එක්වෙනවා කියළා. ඒක තමයි මේ යුගයේ හොඳම විහිළුව. සමගි ජන බලවේගය ශක්තිමත් පක්ෂයක් නොවෙයි.
ඒක වැට උඩ තියෙන පක්ෂයක්. නැවැත මේ රටේ අවුරුදු ගණනාවකට එක්සත් ජාතික පක්ෂය හෝ ඒකෙන් කැඩී ගිය සමගි ජන බලවේගයට ආණ්ඩුවක් පිහිටුවන්න මේ රටේ ජනතාව ඉඩ තබන්නේ නැහැ. ඒ පක්ෂවලට දැන් නායකත්වයක් නෑ.
ඒ වගේම මුස්ලිම් හා දෙමළ පක්ෂවලට මින්පසු නාම යෝජනා නොදෙන බවටත් සමග ජන බලවේගය ප්‍රකාශ කරළා තිබුණා. දැන් ඒ සුළුතර පක්ෂත් ඉන්නේ සමගි ජන බලවේගයත් ත් එක්ක විරසකභාවයකින්. ඒ නිසා ඔය දුවන කෝච්චිවලට බෙල්ල තියන්න අපිට ඕනෑ කමක් නෑ.”