මහ මැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ, වත්මන් ආණ්ඩුව විසින් රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ උපාධිධාරීන් 44,000ට සති දෙකක කාලයක් තුළ පත්වීම් ලබාදෙන බවත්, මාස තුනක කාලයක් තුළ පත්වීම් ස්ථිර කරන බවත් සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වයස අවුරුදු 45 ඉක්මවූ රැකියා විරහිත උපාධිධාරීන්ටද බලයට පත් වී සති දෙකක කාලයක් තුළ පත්වීම් ලබාදෙන බවත්, එම පත්වීම් මාස තුනක කාලයක් තුළ ස්ථීර කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද (05දා) ලේක් ඩ්‍රයිව්හි කබීර් හෂීම් මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"මම ජනාධිපතිවරණ වේදිකාවේ පොරොන්දුවක් දුන්නා රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට. මැතිවරණයෙන් පස්සේ අපි විපක්ෂයට ගියා. ඔවුන් රාජ්‍ය බලය ලබාගත්තා. මොකක්ද ඔවුන් එදා කිව්වේ මාසයක් තුළ රැකියා ලබාදෙනවා කිව්වා. ඒ පොරොන්දුව ඔවුන් උල්ලංඝනය කළා. දෙසැම්බර් පළමුවැනිදා දුන්නෙත් නෑ. ජනවාරි පළමුවැනිදා දුන්නෙත් නෑ. මම ජනවාරි 21 වැනිදා ප්‍රශ්නයක් ඇහුවා මේ ගැන. ජෝන් සෙනෙවිරත්න මහත්මයා තමයි ඊට පිළිතුරු ලබාදුන්නේ.
එතුමා පැවසුවා රැකියා විරහිත උපාධිධාරීන් 44,000ක් සිටින බව. පෙබරවාරි පළමුවැනිදා රැකියා ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් ඒ දුන්නෙත් නෑ. පාර්ලිමේන්තුව විසුරවන බව දැන දැනම ඊට දින දෙකකට පෙර ලියුම් දාලා තිබුණා. මැතිවරණ කොමසාරිස්වරයා තහනම් කරන බව දැන දැනම මේ ආණ්ඩුව හිතාමතාමයි මේ දේ කළේ. මේක තනිකරම රැවටීමක්. බොරුවක්.
කට්ටියක් කියනවා සජිත් ප්‍රේමදාස මැතිවරණ කොමසාරිස්ට කතා කළාලු මේක නවත්තන්න කියලා. මොන ටොම් පච ද මේ. අපි ඇත්ත වෙනුවෙන් පෙනීසිටිමු. උපාධිධාරීන් වහලුන් හැටියට යෙදවීමේ උත්සාහය නවතමු. මේ කරන්නේ උපාධිධාරීන් දේශපාලන ඉත්තන් කරගැනීමටයි මේ සැරසෙන්නේ. අපි ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන්න ලෑස්තියි.
මම මේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින 44,000ට පොරොන්දුවක් ලබාදෙනවා මැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සති දෙකක් තුළ රැකියා ලබාදීලා, මාස තුනක් තුළ එම රැකියා ස්ථීර කරන බවට. ඒ වගේම රජයේ අකාර්යක්ෂමතාව නිසා රැකියා විරහිතව සිටින උපාධිධාරී වයස අවුරුදු 45ට වැඩි අයටත් සති දෙකක් තුළ රැකියා ලබාදෙන බවටත්, මාස තුනක් තුළ රැකියා සිථීර කරන බවටත් පොරොන්දුවක් ලබාදෙනවා" යනුවෙන්ද පවසා සිටියේය.