මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා මාස 05කට පෙර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන බව රහස් පොලීසිය කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට ඊයේ (01දා) දැනුම් දුන්නේය.
මනුෂ්‍ය ඝාතන සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට සැකකරමින් අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් ධර්මප්‍රිය හෙට්ටිආරච්චි නමැත්තා සම්බන්ධයෙන් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත ඔහු රඳවාගෙන ප්‍රශ්න කරන බවද රහස් පොලීසිය දැනුම් දුන්නේය.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර රන්ජන් ධර්මප්‍රිය හෙට්ටිආරච්චි නමැත්තා පසුගිය මස 12වැනිදා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර එදින සිට දින 90ක කාලයක් සඳහා බලපැවැත්වෙන අන්දමට ලබාගත් රැඳවුම් නියෝග මත ඔහු රඳවාගෙන ප්‍රශ්න කරන බව දැනුම් දුන් රහස් පොලීසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සැකකරු නීරීක්ෂණය කරන්නැයි මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක්ද කළේය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ රොෂාන් කුමාර මහතා ඇල්පිටිය, කරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී පසුගිය පෙබරවාරි 26වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදි හෙළි වූ තොරතුරුවලට අනුව සිද්ධියෙන් මාස 05කට පසු රන්ජන් ධර්මප්‍රිය හෙට්ටිආරච්චි නමැත්තා අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි.