වර්තමානයේ දිවයිනේ බොහෝ රෝහල් කෝවිඩ් රෝගය හා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බැවින්, රෝහල්ගත කරනු ලබන්නේ රෝහල් ගත විය යුතු තරම් බරපතළ රෝග තත්ත්වයකින් පෙළෙන රෝගීන් පමණක් බව කෝට්ටේ ශ්‍රී ජයවර්ධපුර මහ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.වී.සී ජානක මහතා පවසා සිටී.
"ඔබට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පහළ වූ සැනින් රෝහල වෙත යන්නට කලබල නොවී ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් පළමුව උපදෙස් ලබාගන්න. ඒ උපදෙස් අනුව දෙනු ලබන ඖෂධ නියමිත මාත්‍රාවෙන් ගෙන දින දෙකක් පමණ විවේකීව නිවසේ රැඳී සිටීම සුදුසුයි. දින දෙකකට වඩා උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, වමනය හෝ බුරුලට මළපහ වීම වැනි ලක්ෂණ තිබේ නම් ළඟම තිබෙන රෝහලේ බාහිර රෝගී අංශය වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ඔබට තිබෙන රෝග ලක්ෂණ අනුව රෝහල්ගත විය යුතුද නැද්ද යන්න එකී වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇති. ඔබට කෝවිඩ් රෝග ලක්ෂණ ඇතැයි සැක සිතුණු විට පීසීආර් පරීක්ෂණයක් හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵලය නෙගටිව් වූ පමණින් ඔබට වෛරසය ආසාදනය නොවූවා යැයි කිව නොහැකියි. ඇතැම් විට ඉහත පරීක්ෂණ තවත් දින කිහිපයකින් සිදුකර බැලුවහොත් ඔබට වෛරසය ආසාදනය වී ඇතැයි ප්‍රතිඵල ලැබිය හැකියි. එමනිසා අවදානමක් සහිත පුද්ගලයන් එම පරීක්ෂණ කිහිප වරක් සිදුකර බැලීම වඩා සුදුසුයි.
බොහෝ රෝගීන් තමා ළඟදී එකී පරීක්ෂණ සිදුකර ලබාගත් ප්‍රතිඵල හොඳ යැයි පවසමින් ඒවා නැවත සිදුකිරීමට අකමැති වෙයි. එයින් සිදුවන්නේ ඔබ නොදැනුවත්වම රෝගයට ගොදුරු වී සිටීමත්, සමාජයේ සෙසු පුද්ගලයන්ටද පහසුවෙන්ම ඔබෙන් රෝගය බෝ වීමත්ය. විශේෂයෙන්ම ඔබ ශල්‍යකර්මයකට බඳුන් වීමට නියමිතව තිබේ නම් මෙම පරීක්ෂණ නැවත නැවතත් කිරීමට සිදුවේවි."
සාගරිකා දිසානායක