ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ජාතීන් අතර වෛරී හැගීම් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයේ සිටි පුද්ගලයින් 494 දෙනා අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහෝමඩ් මිහාල් මහතාට අද (01දා) දැනුම් දුන්නේය.
විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගොස් ඇති මෙම සන්නිවේදන ජාලයේ සාමාජිකයින්ව සිටි පුද්ගලයින් 494 දෙනා අතර මුස්ලිම් දේශපාලනඥයකුද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සැකකාර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයේ ඇති දත්ත ලබාගැනීමට නොහැති වන පරිදි එය අගුලූ ලා ඇතැයිද දැනුම් දුන්හ.
ජාතීන් අතර වෛරී හැගීම් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළැයි කියන ව්‍යාපාරිකයකුගේ බැංකු ගිණුම් වල කෙටි කලක් තුළ රුපියල් කෝටි 7ක පමණ මුදලක් සංසරණය වී ඇතැයි කියමින් රහස් පොලිසිය මීට පෙර අවස්ථාවක කළ ඉල්ලීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇති දෙහිවල ප්‍රදේශයේ පදිංචි ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය එලෙස දැනුම් දුන්නේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මේ සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට පසුගිය දින අධිකරණයෙන් අවසර ඉල්ලා ඇතැත් එම අවසරය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල ලබන 25 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළේය.