අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් වෙත කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 500ක් දක්වා සැපයීමට මොඩෙර්නා සමාගම, COVAX වැඩසටහන හා අනුබද්ධ එන්නත් සන්ධානය වන ගාවි සමග ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඒ අනුව මොඩෙර්නා සමාගම මෙහිදී අවම මිලකට මෙම එන්නත් මාත්‍රා පිරිනමන බව සමාගම පවසයි. ආරම්භක මාත්‍රා මිලියන 34ක් 2021 සිව්වැනි කාර්තුවේදී ලබාදීමට නියමිත අතර, 2022 දී මාත්‍රාව මිලියන 466ක් ලබාදෙනු ඇත.
කොවිඩ්-19 මර්දන එන්නත් තොග වශයෙන් මිලදී ගෙන, ප්‍රධාන ඖෂධ සමාගම් සමග ගිවිසුම් ඇති කර ගැනීමේදී ධනවත් රටවල් සමග තරග කළ නොහැකි දුප්පත් රටවලට යැවීම සඳහා කටයුතු කරන ගෝලීය මුලපිරීම වන COVAX සමග හවුල් වූ රටවල් 92ක් මෙම ගිවිසුමෙන් ආවරණය කෙරේ. COVAX යනු ගාවි, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වසංගත සූදානමේ නවෝත්පාදන සඳහා වන සන්ධානය ඇතුළු විවිධ සංවිධානයන්ගේ එකතුවකි.
"ගාවි සහ COVAX හවුල්කරුවන් වෙහෙස මහන්සි නොබලා කටයුතු කිරීම ගැනත්, මෙම ගිවිසුමට එළඹීම සඳහා සමස්ත මොඩෙර්නා කණ්ඩායම සහයෝගය දැක්වීම ගැනත් මම කෘතඥ වෙනවා. ලොව පුරා සිටින පුද්ගලයින්ට අපගේ කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගැනීම සහතික කිරීම සඳහා අප කටයුතු කරන බැවින් මෙය වැදගත් සන්ධිස්ථානයක් යැයි මා විශ්වාස කරනවා" මොඩෙර්නා හි ප්‍රධාන විධායක නිලධාරි ස්ටෙෆාන් බැන්සල් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. "කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීම සඳහා බොහෝ රටවලට සීමිත සම්පත් ඇති බව අප හඳුනාගෙන තිබෙනවා. කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා පුළුල්, දැරිය හැකි සහ සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා වන COVAX හි මෙහෙවරට අප සහාය දෙනවා. අපගේ mRNA කොවිඩ්-19 මර්දන එන්නත සමඟ මෙම වසංගතය අවසන් කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කිරීමට අපි කැපවී සිටිනවා." හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මොඩෙර්නා මාධ්‍ය නිවේදනයේ, ගාවි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සෙත් බර්ක්ලි කියා සිටියේ මෙම ගිවිසුම පිළිබඳව තමා සතුටු වන බවත්, එමගින් තවත් කොවිඩ්-19 එන්නතකට COVAX ප්‍රවේශය ලබා දෙන බවත්ය.
"විවිධාකාර එන්නත් කලඹ පුළුල් කිරීම හා ලබාදීම සැමවිටම COVAX හි මූලික ඉලක්කයක් වී තිබුණා. නව ප්‍රභේදයන්ගෙන් එල්ල වන තර්ජනයද ඇතුළුව අඛණ්ඩව වෙනස් වෙමින් පවතින මෙම වසංගතය හමුවේ අනුවර්තනය වීමට එන්නත් ලබාදීම වැදගත්. මෙම ගිවිසුම එම දිශාවට තවත් පියවරක්" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මොඩෙර්නා එන්නත පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කළ අතර, ඒ අනුව එය මෙතෙක් එවැනි අනුමැතියක් ලද පස්වැනි කොවිඩ්-19 මර්දන එන්නත බවට පත්විය. මෑතකදී සිදුකළ අධ්‍යයනයට අනුව මොඩෙර්නා එන්නත කොවිඩ්-19 රෝහල්ගත වීමේ අවදානම 94%කින් අඩු කරන බවත්, එය 94%ක ඵලදායීතාවකින් යුතු එන්නතක් බවත් හඳුන්වාදී තිබුණි.