ඉන්දියාවේ තත්ත්වය ඛේදජනක වුවද, එවැනි ඛේදජනක අත්දැකීමකට මුහුණදුන් එකම රට එය නොවන බවත්, නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින වැනි රටවල් මෙන්ම, ඈතින් පිහිටි ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය වැනි රටවල සෞඛ්‍ය පද්ධතිද මේ වනවිට මහත් අරගලයක යෙදී සිටින බව යුනිසෙෆ් විධායක අධ්යක්ෂ හෙන්රීටා ෆෝර් පවසයි.
ජුනි මාසයේ පැවැත්වීමට නියමිත G7 සමුළුව සඳහා රටවල් සූදානම් වීමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක අධ්‍යක්ෂවරිය මෙම ප්‍රකාශය සිදුකරයි.
COVAX පහසුකම, එනම් කොවිඩ්-19 මර්දන එන්නත සියලු දෙනාට සාධාරණව ලබාදීමේ ගෝලීය වැඩසටහන ඉදිරි දිනවලදී එන්නත් මාත්‍රා මිලියන 65ක් ලබාදෙනු ඇති බවත්, සැබවින්ම එය අවම වශයෙන් මිලියන 170ක් පමණ විය යුතුව තිබූ බවත් ෆෝර් පවසයි.
ලබන මාසයේ G7 නායකයන් එක්සත් රාජධානියේදී රැස් වනවිට කොවිඩ්-19 මාරාන්තික වසංගතය දෙවැනි රැල්ල ලෙස ඉන්දියාව සහ එහි දකුණු ආසියානු අසල්වැසි රටවල් පුරා අඛණ්ඩව පැතිරයාමක් දක්නට ලැබෙන බවත්, මේ තත්ත්වය තුළ එන්නත් මාත්‍රා මිලියන 190කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බවත් ඇය සඳහන් කරයි.
"එන්නත්කරණය, රෝග විනිශ්චය සහ චිකිත්සාව සඳහා සමාන ප්‍රවේශයක් නොමැති අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් නොසලකා හැරීමෙන් සහ ඒවාට අපගේ රැකවරණය සැලසීම සීමා කිරීම නිසා ඇතිවන අවදානම පිළිබඳව අප නැවත නැවතත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. වෛරසය මාරාන්තික බලපෑම උච්ඡතම අවස්ථාවට පැමිණෙ තිබෙන ඉන්දියාව පිළිබඳ අපගේ අවධානය යොමුව ඇති අතර, වසංගතය පිළිබඳව අනතුරු ඇඟවීම් නොසලකා හැරියොත් කුමක් සිදුවේද යන්න පිළිබඳව එය පූර්වාදර්ශයක් වෙනවා. ඒ වගේම වෛරසය දිගින් දිගටම පාලනයකින් තොරව පැතිරෙන විට එහි මාරාන්තික බව හේ බෝවන ප්රභේදයන් මතු වීමේ අවදානම වැඩිවෙනවා. ළමයින් සහ පවුල් සඳහා දැරීමට සිදුවන පිරිවැය ගණනය කළ නොහැකි වනු ඇති." ෆෝර් පවසයි.
ජුනි මාසයේ ලබාදීමට සිටි තවත් එන්නත් මාත්‍රා මිලියන 50ක් සැපයීමට නොහැකි වන බව පෙනෙන්නේ යැයි පවසන ඇය, එන්නත්කරණය ජාතිකවාදී වීම, සීමිත නිෂ්පාදන ධාරිතාව සහ අරමුදල් නොමැතිවීම යනාදී කරුණු කොවිඩ්-19 එන්නත්කරණය අපේක්ෂිත කාලසටහනට වඩා ප්‍රමාදවීමට හේතු ලෙස පෙන්වා දෙන්නේ, ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනයේ පවතින අර්බුදය ගැනද සඳහන් කරමිනි.
මේ තත්ත්වය තුළ G7 සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල්වලින් සමන්විත "ටීම් යුරෝපා" කණ්ඩායම ජුනි, ජූලි සහ අගෝස්තු මාසවලදී ඔවුන් සතු එන්නත් සැපයුමෙන් 20%ක් අනෙක් රටවල් සමග බෙදා ගන්නේ නම්, එන්නත් මාත්‍රා මිලියන 153ක් පමණ පරිත්‍යාග කළ හැකි බව ෆෝර් පැවසීය. එහිදී මෙහි වැදගත් කරුණ වන්නේ ඔවුන්ගේ ජනගහනය එන්නත්කරණය කිරීම සඳහා වූ ඔවුන්ගේ වගකීම ඉටුකරමින් පවා මෙලෙස අතිරික්ත එන්නත් පරිත්‍යාග කිරීමට හැකිවීම බව යුනිසෙෆ් විධායක අධ්යක්ෂ හෙන්රීටා ෆෝර් වැඩිදුරටත් පවසයි.