ව්‍යාජ ATM කාඩ්පත් සකස්කර බැංකුවලින් මුදල් ලබාගැනීමට සුළු පිරිසක් ගත් උත්සාහය ගැන ජනතාව අනියත බියක් ඇතිකර ගතයුතු නැති බවත්, ඔබ ATM කාඩ්පතක් භාවිත කරන්නේ නම්, ඔබේ ගනුදෙනුව SMS පණිවුඩයක් මගින් තහවුරු කිරීමේ සේවාව සමග ලියාපදිංචිවීම වඩාත් යෝග්‍ය බවත් ලංකා ක්ලියර් සමාගමේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසයි.
තම බැංකු ගිණුම්වලින් තමන් නොදැන මුදල් ලබාගෙන ඇති බවට පාරිභෝගිකයන් පිරිසක් විසින් ඇතැම් බැංකුවලට කර තිබූ පැමිණිලි සම්බන්ධයෙන් හා ATM කාඩ්පත් භාවිතය සම්බන්ධව පැතිර යන කටකතා සම්බන්ධයෙන් චන්න ද සිල්වා මහතාගෙන් 'අද' කළ විමසීමකදී හෙතෙම මෙසේ සඳහන් කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ චන්න ද සිල්වා මහතා,
"ATM කාඩ්පතේ දත්ත ව්‍යාජ ලෙස ලබාගැනීමට ස්ථාන කිහිපයකදී කටයුතු කර තිබෙන්නේ සුළු පිරිසක් බව මේ වනවිට තොරතුරු වාර්තා වෙනවා. මෙය අද ඊයේ සිදුවූ දෙයක් නොවෙයි. මීට පෙරත් මෙවැනි සිදුවීම් වාර්තා වුණා. මේ පිරිස විදේශික පිරිසක් බවත් සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ආරක්ෂිත පියවර ගැනීමට බැංකු දැනටමත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම, මොවුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටිනවා. මෙය ලංකාපේ ජාලයේ ගැටලුවක් නොවන බවද සඳහන් කළ යුතුයි. ඒ නිසා, ATM කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ.
කෙසේ වෙතත්, ජනතාවගේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් හොඳ අවධානයකින් පසුවීම වැදගත්. ඔබේ ගිණුමේ කිසියම් හෝ අකටයුත්තක් සිදුවන බව හැඟී යන්නේ නම් වහාම බැංකුව දැනුවත් කළ යුතුයි. එවිට ඔබේ ATM කාඩ්පතේ ගනුදෙනු නැවැත්වීමට බැංකුව කටයුතු කරනවා. දැනටමත් සෑම ATM යන්ත්‍රයක් සමග කැමරාවක් පවතින බැවින්, යමෙකු හිස් වැසුමක් හෝ හෙල්මට් එකක් පැළඳ ATM යන්ත්‍රයක් වෙත පැමිණියහොත් ඒ සම්බන්ධයෙන් වහාම ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම, ATM කාඩ්පතක් භාවිත කිරීමේදී එහි සිදුවන ගනුදෙනු පිළිබඳව SMS පණිවුඩයක් මගින් ක්ෂණිකව ගිණුම්හිමියා දැනුවත් කරන සේවාවක් සෑම බැංකුවකම පවතිනවා. බොහෝ ගනුදෙනුකරුවන් මේ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. තවත් අය මේ සම්බන්ධයෙන් දැනුවත් වුවත්, ඒ සඳහා ලියාපදිංචි වී නැහැ. ඒ නිසා, ඔබ ATM කාඩ්පතක් භාවිත කරන්නේ නම්, ඔබේ ගනුදෙනුව SMS පණිවුඩයක් මගින් තහවුරු කිරීමේ සේවාව සමග කඩිනමින් ලියාපදිංචිවීම වඩාත් යෝග්‍ය වෙනවා." යැයි පවසා සිටියේය.