මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ ධාවනය වන දුර ගමන් සේවා බස් රථ ඇතැම් උපනගරවල පවා නොනවත්වා ධාවනය හේතුවෙන් රාත්රි කාලයේ ඒ නවය මාර්ගය භාවිතා කරන මගීන් දැඩි අපහසුතාවයට පත්වන බවට මැසිවිලි නගති.
විශේෂයෙන් සවස් කාලයේ සිට මාතලේ සිට දඹුල්ල දක්වා ගමන් කිරීමට සිටින බොහෝ මගීන් මේ තත්ත්වය හමුවේ මහත් පීඩාවට පත්ව ඇතැයි කියා සිටිති.
මේ සම්බන්ධයෙන් දුර ගමන් සේවා බස් රථ කොන්දොස්තරවරුන් කිහිප දෙනෙකුගෙන් කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ තමන්ට නියමිත ගමනාන්තයට නිසි වේලාවට ගමන් කළ යුතු බවත් අතරමග බස්රථ නවතා ගමන් කිරීම හේතුවෙන් ගැටලු රැසක් පැන නගින බවයි.
මගීන් පවසන ආකාරයට සවස් කාලය වන විට මාතලේ සිට දඹුල්ල දක්වා සහ දඹුල්ල සිට මහනුවර දෙසට පෞද්ගලික හෝ ලංගම බස්රථ නිසි පරිදි ධාවනය නොවන බවයි.
මෙම තත්ත්වය හමුවේ නිවෙස් වලට කල් තියා යෑම සඳහා දුර ගම්සේවා බස් රථ වලට තමන්ට ගොඩවීමට සිදුවන බවත් මගීහු කියා සිටිති.
කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවල මගීන්ට ගැටළුවක් පැණ නැගී ඇත්ම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් විසදුමක් ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම කිය සිටියේය.
නාඋල - ඉන්දික කුමාර