තම මුල් ඉඩම් යළි ලබාදෙන ලෙස ඉල්ලමින් දින 49ක් පුරා මන්නාරම් මුල්ලිකුලම් වැසියන් විසින් සිදුකළ සත්යග්රහය අද (30දා) අවසන් කර තිබේ.
නාවික හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරව මුල් ඉඩම් සියල්ලක්ම නිදහස් කරන බවට වූ පොරොන්දුව මත මෙම තීරණය ගෙන තිබේ.
මේ අනුව නාවික හමුදාව භාරයේ පැවැති ඉඩම් අක්කර 100කට ආසන්න ප්රමාණයක් ඒවායේ මුල් අයිතිකරුවන්ට බාරදීමට නාවික හමුදාපතිවරයා තීරණය කළ අතර, දැනට නාවික හමුදාව රැඳී සිටින මුල් ඉඩම් හා නිවාස 22කින් ඉවත් වීමට මාස 06ක කාලයක් ඉල්ලා තිබේ. එම මාස 06ක කාලය ඇතුළත නාවික හමුදාව වෙනත් ස්ථානයක තම කඳවුරු ඉදිකිරීමෙන් පසුව එම ඉඩම් හා නිවාසද මුල් අයිතිකරුවන්ට ලබාදීමට තීරණය කර තිබේ.
මේ අතර අද දිනයේදී පවුල් 80ක් පමණ තාවකාලික නිවාස ඉදිකර සිය මුල් ඉඩම්වල පදිංචි වීම සඳහා මුල්ලිකුලම් කතොලික පල්ලියේ පැවත්වෙන දේව මෙහෙයෙන් පසුව පැමිණීමට නියමිතවය.
මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියහ.