ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.
“භූගත ජලය ආශ්‍රිතව : නොපෙනෙන දේ සෙවීමට සැලැස්වීම” (Groundwater: making the invisible visible) යන්න මෙවර ලෝක ජල දිනයේ තේමාවයි. එමගින් ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති හා දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා වූ භූගත ජලයේ ඇති වැදගත්කම පෙන්වා දෙයි.
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මෙතෙක් මුහුණ දුන් පානීය ජලයට මුහුදු ජලය එක්වීමේ ගැටලුවට විසඳුම් දෙමින් කළුතර, අගලවත්ත හා මතුගම ජල යෝජනා ක්‍රමය අන්තර්ජාලය ඔස්සේ ජනතා අයිතියට පත් කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
2025 දී රටේ සියලුම ජනතාවට පිරිසිදු පානීය නළ ජල පහසුකම් සැපයීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ලංකාවේ විශාලතම මුහුදු ජලය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය, යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර කරගනිමින් අරඹා තිබේ. එහි මිල අධික වුවත් උතුරේ ජනතාවගේ පිපාසය නිවාලීමට කළ යුතුම දෙයක් බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
සමාජ මාධ්‍ය මගින් පාරිභෝගික සේවා සපයන දකුණු ආසියාවේ ප්‍රථම උපයෝගීතා ආයතනය බවට පත්වෙමින් ඩිජිටල් තාක්ෂණික වැඩපිළිවෙළ ඇරඹීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
ජල ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා අනුග්‍රාහකත්වය දක්වන ජාත්‍යන්තර ආයතන 08කට ප්රණාම පුදකිරීම, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හොඳම කළමනාකරු, හොඳම වැඩ භාර නිලධාරී කාර්යාලය සහ හොඳම ප්‍රජා ජල සමිතිය සඳහා “ජනාධිපති සම්මාන” පිරිනැමීම මෙවර ජල දිනයේ සුවිශේෂි අවස්ථාව විය.
රාජ්‍ය අමාත්‍යවරු, තානාපතිවරු, දේශීය හා විදේශීය කොන්ත්‍රාත් සමාගම් හි නියෝජිතයෝ හා උපදේශකවරු, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.