2025 අයවැය දෙවනවර කියවීම ලබන පෙබරවාරි 17 වැනිදා සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“රුපියල් බිලියන 219.373ක පරිපූරක ඇස්තමේන්තුවක් යෝජනා සම්මතයක් තුළින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා වෙත මුදල් අමාත්‍යවරයා වශයෙන් අනුමැතිය හිමි වුණා කැබිනට් මණ්ඩලයේ. 2025 වර්ෂය සඳහා අයවැය සකස් කිරීම පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපට ලැබුණු ජන වරමට අනුකූලව වගේම අපේ රටේ ඉදිරි ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා වන පදනමක් සකස් කිරීම සඳහා වන අයවැය ලේකනය සකස් කිරීම සඳහා අනුමැතිය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යාංශය විසින් පවරනු ලැබුවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ පළමු සති දෙක ඇතුලතදි සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වලට අදාල කරන යෝජනා ලබා ගන්නත්, ජනවාරි 09 වැනිදාට අයවැය කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත්, පෙබරවාරි 17 වැනිදා අයවැය දෙවැනිවර කියවීම සිදු කිරීම හෙවත් අයවැය ඉදිරිපත් කරන්නත්, හැකිවන ලෙසට තමයි මේ අයවැය සකස් කරලා දුන්නේ. ඒ වගේම පෙබරවාරි 27 සහ මාර්තු 21 අතර අයවැය විවාදය පැවැත්වීමට හැකි වන පරිදි මේ කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා වෙත අනුමැතිය ලබා දීලා තියෙනවා.”