2024 වසර තුළ මේ දක්වා වන අලි මරණ 350ක් සිදුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය වසර තුළදී අලි මරණ 450ක් සිදුව තිබූ අතර මේ වර්ෂයේදී එම ප්‍රමාණය 100කින් අඩුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වනජීවී දෙපාර්තමේන්තුවත් ,පරිසර සංවිධානත් ,වෙනත් විවිධ සංවිධානත් අලින්ගේ ආරක්ෂාව සඳහා සිදු කරන ලද ක්‍රියාදාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවද වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
2024 වසර තුළ මියගිය අලින් 350 දෙනාගෙන් වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ වෙඩි තැබීම් හේතුවෙන්ය. එලෙස වෙඩි තබා මරා දමන ලද අලින් සංඛ්‍යාව 70ක් වන අතර විදුලිසැර වැදීමෙන් මිය ගිය අලි සංඛ්‍යාව 50 ක් බව වාර්තා වෙයි.
මිනිසුන් හක්කපටස් යොදා, මරා දමා ඇති අලි සංඛ්‍යාව 35ක් ලෙස සඳහන් වෙයි. මීට අමතරව දුම්රියවල ගැටීමෙන් අලින් 10 දෙනකු මියගොස් තිබිණි.
මෙවන විට ශ්‍රී ලංකාවේ ජීවත්වන අලින් සංඛ්‍යාව 5879ක් වන අතර මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා වාර්ෂිකව මේ ලෙසින් අලින් මිය යෑමට සිදු වුවහොත් අලි ගහනය ඉක්මනින්ම මෙරටින් වඳ වී යා හැකි බව වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
කමල් ශ්‍රී ලියනගේ