2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බවට ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි.
ඒ අනුව මෙලෙස ප්‍රථම වරට හඳුණා ගැනුණ රෝගීන්ගෙන් 75%ක් පෙනහලුගත ක්ෂය රෝගීන් වන අතර ඔවුන්ගෙන් 60%-65% අතර ප්‍රතිශතයක් සෙමවල විෂබීජ සහිත රෝගීන් වන බවද එම වැඩසටහන පෙන්වා දෙයි.
මේ අතර ක්ෂය රෝග මරණ සම්බන්ධයෙන් මෙරට සතු අවසන් දත්ත වාර්තාව වන 2023 වසරේ වාර්තාව අනුව එම වසරේදී පුද්ගලයන් 733 දෙනෙකු මරණයට පත්ව ඇත. එය සමස්ත රෝගීන්ගෙන් 7.9%ක ප්‍රතිශතයක් වන බවත් ක්ෂය රෝග මරණ ඉහළ යමින් පවතින බවත් ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය සඳහන් කළාය.
එළඹෙන 24 වැනිදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ (12දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ වයස අවුරුදු 55 ට ඉහළ කාණඩය තුළ ක්ෂය රෝගීන් වාර්තා වීම ඉහළ බවයි.
ඒ අනුව ප්‍රමාද වී ප්‍රතිකාර සඳහා පැමිණීම මෙන්ම වෙනත් නිධන්ගත රෝග පැවතීම ක්ෂය රෝග මරණවලට බහුතර හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.
විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ එක් ක්ෂය රෝගියෙකුගෙන් නිරෝගී පුද්ගලයන් 15 දෙනෙකු වෙත වසරක කාලයකදී ක්ෂය රෝගය ව්‍යාප්ත විය හැකි බවය.
ක්ෂය රෝගීන්ගෙන් 45%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. ඉන් 25%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇත. මීට අමතරව ගම්පහ, කළුතර, ගාල්ල සහ නුවර යනාදී දිස්ත්‍රික්කවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වන බව ද විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය ප්‍රකාශ කළාය.
මෙවර ලෝක ක්ෂය රෝග දිනය "ඔව් අපිට ක්ෂය රෝගය තුරන් කළ හැක. කැපවෙමු, ආයෝජනය කරමු සහ සේවය ලබා දුන් දෙමු" යන තේමාවෙන් පැවැත්වෙන අතර ක්ෂය රෝගීන් හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ ජාතික රෝහලේ දී සිදු කෙරෙනු ඇත.
2030 වසර වන විට ක්ෂය රෝගය තුරන් කිරීම අරමුණු වී ඇති අතර මේ සඳහා ජනාධිපතිවරයාගේ සිට රටේ සියලු ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පෙන්වා දෙයි.
මෙරටෙහි පුරෝකතනය කර ඇති සහ හඳුනාගත යුතුව ඇති ක්ෂය රෝගීන් සංඛ්‍යාව 14000ක් වන නමුත් සොයාගනු ලැබ ඇත්තේ 9500ක් පමණ වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ වැඩසටහනේ අධ්යක්ෂ, වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පෙන්වා දෙයි.
ඒ අනුව එම මගහැරුණු රෝගීන්ගෙන් 15%ක් කුඩා දරුවන් වන අතර 25%ක් පමණ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් වන බව සඳහන්ය. එසේම 41%ක පමණ ප්‍රතිශතයක් වයස අවුරුදු 45- 64 අතර රැකියාවේ නිරත පුද්ගලයෝ වෙති.