එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් අද (20දා) නිකුත් කරන ලද ලෝක සතුටු දර්ශකයට (World Happiness Index 2024) අනුව ශ්රී ලංකාව 128 වැනි ස්ථානයට පත්ව තිබේ. වාර්ෂිකව නිකුත් කරන මෙම දර්ශකය යටතේ පසුගිය 2023 වසරේදී ශ්රී ලංකාව 112 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව මේ වසරේදී ශ්රී ලංකාව ස්ථාන 16ක් පසුපසට ගොස් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබන ලොව රටවල් 143ක ජනතාව පසුගිය වසර තුළ සතුටින් ජීවත් වූ මට්ටම් පිළිබඳව සමීක්ෂණය කරමින් මෙම වාර්තාව සකස් කර තිබේ. මෙහි පළමු ස්ථානය පිට පිට හත්වැනි වරටත් ෆින්ලන්තය වෙතත්, අවසන් ස්ථානය ඇෆ්ගනිස්තානය වෙතත් හිමිව තිබේ.
මෙම වාර්තාව සකස් කිරීමේදී සමස්ත වයස් කාණ්ඩයන්හි සතුටුදායක බව, තරුණ වයසේ පිරිසගේ සතුටුදායක බව, පහළ මැදි වයසේ සතුටුදායක බව, ඉහළ මැදි වයසේ සතුටු දායක මට්ටම මෙන්ම වයස්ගත පිරිසගේ සතුටුදායක මට්ටම පිළිබඳව සමීක්ෂණය කෙරේ. එසේම එක් එක් රටවල වඩාත් සතුටුදායක සහ අඩු සතුටුදායක වයස් කාණ්ඩයන්ද මෙහිදී නම් කර ඇත.