2024 වසර තුළ දිවයිනේ සුනඛ සපාකෑම් හේතුවෙන් පුද්ගලයන් 184,926ක් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත්, මෙලෙස සුනඛ සපාකෑමට ලක්වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව රජය රු.මිලියන 850-1000ත් අතර මුදලක් වැය කරන බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එමෙන්ම 2024 තුළදී සුනඛ ගහනය අඩු කිරීම සඳහා ගැහැනු සතුන් 30,881ක් ශල්‍යකර්ම මගින් වන්ද්‍යකරණයට ලක්කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“2024.01.01 දින සිට 2024.12.31 දක්වා වූ කාලය තුළ සුනඛයන් සපාකෑම හේතුවෙන් ප්‍රතිකාර ගන්නා ලද පුද්ගලයන් සංඛ්‍යාව 184,926යි. එම කාලය තුළ සුනඛයන් සපා කෑමට ලක්වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් සංඛ්‍යාව 4,045 යි. අපි මේ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව වැයකරන මුදල දළ වශයෙන් රු.මි.850-1000ත් අතර වෙනවා.
මේ ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. 2024 වසරේදී ජලභීතිකා රෝගයට එරෙහිව ගෘහස්ථ සහ අයාලේ යන සුනඛයන් 1,151,350 දෙනෙකුට ජලභීතිකා මර්දන එන්නත් ලබා දී තිබෙනවා. සුනඛ ගහනය පාලනය කිරීම සඳහා 2024 වසරේදී ශ්‍රී ලංකාව තුළ ගැහැනු සුනඛ සතුන් 30,881ක් ශල්‍යකර්ම මගින් වන්ද්‍යකරණයට ලක්කර තිබෙනවා. මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් පවත්වමින් තිබෙනවා. ජලබීතිකා රෝග මර්දනයේදී මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු පැවැත්වෙමින් තියෙනවා.”