ජාතික පාරිභෝගික අධිකාරිය විසින් සීනි, කිරි පිටි,ගෑස්, පොහොර, බිත්තර, කීරි සම්බා, බී ලූණු යන භාණ්ඩවල තොග සඟවාගෙන සිටි ලංකාවේ සියලුම වෙළෙඳුන් සම්බන්ධයෙන්,2023 ජනවාරි මාසයේ සිට කිසිඳු වැටලීමක් සිදුකර නොමැති බව, ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
තොග සඟවාගෙන සිටි භාණ්ඩ අතුරින් පොහොර සම්බන්ධයෙන් පමණක් 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයට එක් වැටලීමක් සිදුකොට තිබුණි. 2022 ජනවාරි 01වනදා සිට 2022 දෙසැම්බර් 31වනදා දක්වා වන වර්ෂයේදී මෙකී සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් 28ක් පමණක් සිදුකර ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් වේ. 2021 හා 2023 යන වර්ෂවල වෙළෙඳ පොළේ මෙම භාණ්ඩවල විශාල හිඟයක් පැවති බවද විගණනය මගින් අනාවරණය කර ඇත.
එමෙන්ම පසුගිය අවුරුදු උත්සව සමයේදී මෙකී භාණ්ඩ සම්බන්ධයෙන් දැඩි ලෙස පාරිභෝගිකයන් අතර කතාබහක් නිර්මාණය වී තිබුණි. පාරිභෝගික පනතේ 17වන වගන්තියට ප්රකාරව තොග සඟවාගෙන සිටින වෙළෙඳුන් සම්බන්ධයෙන් වැටලීම් සිදුකළයුතුවේ. 2023 වර්ෂයේදී මෙම භාණ්ඩවල තොග සඟවාගෙන සිටින වෙළෙඳුන් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පාරිභෝගකි අධිකාරියට නොලැබුණු බව එම පාරිභෝගික අධිකාරිය පවසයි.
මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් කරන ලද විමසීමකදී ජාතික පාරිභෝගික අධිකාරිය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ, වැටලීම් සම්බන්ධයෙන් නව ක්රමවේදයක් සකස්කොට, විමර්ශන නිලධාරීන් සඳහා ඉලක්ක ලබා දී ඇති අතර, එම ඉලක්ක ජූනි මස 01වෙනිදාට පෙර ක්රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇති බව පාරිභෝගික අධිකාරිය විසින් විගණනයට සඳහන් කර ඇත.
චන්දන සමරවික්රම