2023 වසරේ රුපියල් බිලියන 27,630ක අගයක් ගත් මෙරට නාමික දළ දේශීය නිෂ්පාදිතයේ පළාත් මට්ටමින් වැඩිම දායකත්වය බස්නාහිර පළාතෙන් ලැබී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 43.7ක් අගයක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එමෙන්ම සමස්ත නාමික දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරට වඩා අඩු වේගයකින් වුවද 2023 දී වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිම පළාත් දායකත්වයද ( සියයට 43.9) බස්නාහිර පළාතෙන් ලැබී තිබුණු අතර, 2023 දී එහි සුළු අඩුවක් වී ඇතැයි මහ බැංකුව පවසයි.
දළ දේශීය නිෂ්පාදිතයේ පළාත් මට්ටමෙන් දෙවන දායකත්වය (සියයට 10.9 ) වයඹ පළාතෙන්ද, තෙවන දායකත්වය (සියයට 10.3) මධ්‍යම පළාතෙන්ද ලැබී ඇතැයි මෙම නිවේදනයේ සඳහන් වේ.
සෙසු දායකත්ව ස්ථාන ප්‍රතිශත අනුව පිළිවෙළින් දකුණ (9.3), සබරගමුව (7.0), උතුරු මැද (4.8), ඌව (4.7 ), නැගෙනහිර (4.7), උතුර (4.5) යන පළාත්වලින් ලැබී තිබේ.
එමෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ කර්මාන්ත අංශයේ (48.7) සහ සේවා අංශයේ (45.9) ඉහළම ප්‍රතිශත දායකත්වය බස්නාහිර පළාතෙන්ද, කෘෂිකාර්මික අංශයේ වැඩිම දායකත්වය වයඹ පළාතෙන්ද (19.6) ලැබී තිබෙන බව මහ බැංකුව සඳහන් කරයි.
ජේ. ඉඳුරුවගේ