මෙරට අධිකරණවල 2023 දෙසැම්බර් 31 අවසන් වන විට විසඳීම සඳහා නඩු 1122113ක් ගොඩ ගැසී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශය මගින් පෙරේදා (18දා) නිකුත් කර ඇති වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.
කාලයක් තිස්සේ විශාල නඩු සංඛ්‍යාවක් විසඳීම සඳහා අධිකරණවල ගොඩ ගැසී තිබීම මේ වන විට අධිකරණ ක්ෂේත්‍ර මුහුණ දී ඇති දැවැන්තම අර්බුදය බව එම වාර්තාවේ සඳහන් වේ.විසඳීමට ඇති නඩු අතරින් විශාල සංඛ්‍යාවක් මහේස්ත්‍රාත් අධිකරණ හා දිසා අධිකරණවල ගොඩ ගැසී ඇති බවද මෙකී කාර්ය සාධන වාර්තාවල දැක්වේ.
2015 වර්ෂයේ දී මෙරට අධිකරණවල නඩු 713,527ක් විසඳීම සඳහා ගොඩ ගැසී තිබූ අතර 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින වන විට ගොඩ ගැසී ඇති නඩු සංඛ්‍යාව 1122113ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මෙරට මහේස්ත්‍රාත් අධිකරණවල විසඳීම සඳහා ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව 8,05,502 කි. දිසා අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු සංඛ්‍යාව 2,59,763කි.
අධිකරණවලට යොමු වන ආරවුල්වලට සමානුපාතිකව සිටින විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නඩු ප්‍රමාදයට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ. මේ වන විට මෙරට ජනගහනය මිලියනයකට සිටින විනිසුරන් සංඛ්‍යාව 19කි.
පවතින මෙම තත්වය දේශීය ආර්ථික සංවර්ධනයකට අහිතකර ලෙස බලපා ඇති අතර ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පහළට යාමට මෙය හේතුවක් වී ඇත. මෙය ශ්‍රී ලංකාව තුළ අයහපත් ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට මෙන් ම විදේශ ආයෝජන අධෛර්යමත් කිරීමට හේතු වී ඇති බව මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.