මෙරට තුළ එච්.අයි.වී. ආසාදනය පිරිමින් අතර ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒ අනුව 2023 වසරේ 694ක් ලෙස වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 88%ක් පිරිමි පුද්ගලයන් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන අවධාරණය කරයි.
එළඹෙන 01වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (27දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි අධ්යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වින්ද්‍යා කුමාරපේළි මහත්මිය සඳහන් කර සිටියේ මේ වන විට එච්.අයි.වී. ආසාදිත පිරිමින් 7කට කාන්තාවන් 1ක් යන අගයක පවතින බවයි.
එසේම පසුගිය වසරේදී වාර්තා වූ නව නව එච්අයිවී ආසාදිතයන්ගෙන් 15%ක් වයස අවුරුදු 15-24ත් අතර වයස් කාණ්ඩයේ සිටින යෞවන යෞවනයන් වන බවද ඇය පෙන්වා දුන්නාය.
ජංගම දුරකථන ඇතුළු නවීන තාක්ෂණය හරහා සහකරුවන් සොයා ගැනීම, නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම, මත්ද්‍රව්‍ය භාවිතය යනාදිය මීට ප්‍රධානතම හේතූන් වී ඇති බව සඳහන්ය.
මේ අතර වාර්තා වන නව එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් හමුව තිබේ.
‘අයිතීන් සුරකිමු - ඒඩ්ස් නවතමු’ මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වන අතර, සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි රට පුරා සායන40කදී එච්අයිවී පරීක්ෂණ සිදු කෙරෙන අතර, ඉන් 32ක ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යවරුන් සේවය නිරත වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
ඒ අනුව අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසු පැය 72ක් ඇතුළත ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ මධ්‍යම සායනයට හෝ දිවයින පුරා පිහිටි සයන මධ්‍යස්ථානයකට පැමිණ නොමිලේ ඖෂධ ලබා ගත හැකිය.
2023 වර්ෂය තුළදී එච්.අයි.වී. ආසාදිතයන් 5,000ක් මෙරට තුළ ඇති බවට ඇස්තමේන්තු කර තිබුණද, ලියාපදිංචි වී මේ වන විට ප්‍රතිකාර ලබනුයේ ඉන් 3,500ක් පමණය. ( I J )
නිදර්ශනි වික්‍රමසිංහ